
- බංග්ලාදේශ සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කරයි
- තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම අපරාධමය වරදක්
- වරදට වසර 10ක සිර දඬුවමක් හෝ එරට මුදලින් ටකා මිලියන 4ක දඩයක් හෝ එම දඬුවම් දෙකම
අන්තර්ජාලයේ සාවද්‍ය පුවත් පතුරුවන්නන්ට වසර 10ක සිර දඬුවමක් නියම කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට බංග්ලාදේශ රජය සුදානම් වන බව එරට නේත්‍රා පුවත් සේවය වාර්තා කරයි.
තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම අපරාධමය වරදක් බව බංග්ලාදේශ රජය තිරණය කැර තිබේ.
එම යෝජනාවට අනුව අන්තර්ජාලය ඔස්සේ කටකතා සහ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමේ හෝ ව්‍යාප්ත කිරීමේ වරදට වසර 10 දක්වා සිර දඬුවම් හෝ එරට මුදලින් ටකා මිලියන 4ක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබා දීමට නියමිත බව ද වාර්තා වේ.
මේ කෙටුම්පත් සංශෝධනය මඟින් අපහාස කිරීම, අවමන් කිරීම සහ හිරිහැර කිරීම යනාදී වැරදිවලට දඬුවම් ලබාදීම තවදුරටත් පුළුල් කැර ඇති අතර, අදාළ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ට එරෙහිව නඩු පැවැරීම වැළැක්වීම සඳහා ඔවුන්ට නීතිමය රැකවරණය ලබා දීමට ද අවධානය යොමුවී තිබේ.
එම සංශෝධන මඟින් රජය උත්සහ කරනුයේ මාධ්‍ය මර්දනය කිරීම නොව සමාජ සංහිඳියාව ආරක්ෂා කිරීමට බවත්, මාධ්‍යවේදීන්ට එරෙහිව භාවිත කළ අපැහැදිලි වගන්ති ඉවත් කිරීම සඳහා කෙටුම්පත තවදුරටත් සංශෝධනය කරමින් සිටින බවත් තොරතුරු හා විකාශන ඇමැති අන්දලීව් රහ්මාන් ප්‍රකාශ කැර තිබේ.
