Impartial news reporting for a stronger democratic society
මන්නාරමේ කාන්තාවන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න ජපානයෙන් මධ්‍යස්ථානයක්

මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන  අලෙවිය සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජාපාන රජය ආධාර ලබා දීමට  එකඟතාව පළ කැර ඇති අතර, ඊට  අදාළ ගිවිසුමට අත්සන් තැබීම පසුගිය (29) කොළඹදී  සිදු විය.

ජපාන රජය වෙනු වෙන්  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිඕ ඉසොමාටා (Akio ISOMATA) මහතාත් ‘සිවනරුල් හෝප්’ (Sivanarul Hope)  සංවිධානය  වෙනු වෙන් එහි  ලේකම් ශාර්ඩ්කුන්නියා මූර්ති කමලමූර්ති මහතාත්  ගිවිසුමට අත්සන් තැබීය.

“මූලික මට්ටමේ ව්‍යාපෘති සඳහා ප්‍රදාන ආධාර ” (Grant Assistance for Grassroots Projects – GGP)   යනු “මානව ආරක්ෂාව” (human security) යන සංකල්පය මත පදනම් වූ මූල්‍ය ආධාර වැඩසටහනකි. ජපානය තම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ ප්‍රධාන කුළුණක් ලෙස සලකන මෙම සංකල්පය, පුද්ගලයන් – විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් – බියෙන් හා අවශ්‍යතාවලින් තොරව, ගෞරවාන්විතව ජීවත් වීම සහතික කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම අරමුණු කැර ගනී.

උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන සහ අලෙවිය සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කැරගත් මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන රජය  අමෙරිකානු ඩොලර් 97,371ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 32ක) මුදලක් ලබා  දී ඇත. දැනට මූලික කර්මාන්ත (primary industries) ආශ්‍රිත අස්ථාවර ආදායම් මාර්ග මත යැපෙන මෙම ප්‍රදේශයේ කාන්තාවන්ට, මෙම වැඩසටහන හරහා දේශීය තල් ගස්වලින් ලබා ගන්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් හස්ත කර්මාන්ත නිර්මාණය කිරීමේ කුසලතා ලබා ගැනීමට හැකි වනු ඇත. මෙය ඔවුන්ට වඩාත් ස්ථාවර ආදායම් මාර්ග වෙත ප්‍රවේශ වීමටත්, ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ශක්තිමත් කැර ගැනීමටත් ඉඩ සලසනු ඇත.

මෙම ව්‍යාපෘතියට අත්සන් තැබීමෙන් පසු  අදහස් දැක්වු , තානාපති ඉසොමාටා මැතිතුමා මෙසේ පැවසීය. “ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර අතර උතුරු සහ නැඟෙනහිර පළාත් සඳහා ලබා දෙන සහායට ප්‍රමුඛතාවයක් හිමි වේ. ජාතික සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය එකිනෙක සමීපව බැඳී පවතින බව ජපානය  විශ්වාස කරනවා. යටිතල පහසුකම්, මූලික මානව අවශ්‍යතා, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කාන්තා සවිබල ගැන්වීම මෙන්ම බිම් බෝම්බ ඉවත් කිරීම වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, විවිධ සහයෝගිතා වැඩසටහන් හරහා මෙම පළාත්වලට අඛණ්ඩව සහාය ලබා දී  දෙනවා. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක්, අද වන විට ජපානය ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය   අමෙරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවා තිබෙන බව තානාපතිවරයා පැවසීය.”

මෙම ප්‍රදාන ආධාරය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් ‘සිවනරුල් හෝප්’ (Sivanarul Hope) හි ලේකම් ශාර්ඩ්කුන්නියා මූර්ති කමලමූර්ති මහතා මෙසේ පැවසීය:

 “‘ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති සඳහා වන ප්‍රදාන ආධාර’ (Grant Assistance for Grassroots Projects – GGP) වැඩසටහන හරහා ලබා දුන් ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් ජපාන රජයට සහ ජනතාවට ‘සිවනරුල් හෝප්’ ආයතනය හෘදයාංගම ස්තූතිය පුද කරනවා. මෙම ප්‍රදානය මන්නාරමේ ‘දේශීය නිෂ්පාදන හා අලෙවි මධ්‍යස්ථානයක් ‘ පිහිටුවීමට සහාය වීම මඟින් ‘පාම්ස් ටුගෙදර්’ (Palms Together) වැඩසටහන මෙන්ම උතුරු හා නැඟෙනහිර පළාත්වල කාන්තා ශිල්පිනියන් සමඟ සිදු කෙරෙන කටයුතු තවදුරටත් ශක්තිමත්  වෙනවා . මෙම ව්‍යාපෘතිය කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපි ජපාන තානාපති කාර්යාලයට ඉමහත් කෘතඥතාව පළ කරන බව පැවසීය”

චන්දන විජේකෝන්

( Cyber World Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp