
මෑතකදී අනාවරණය වූ NDB බැංකුවේ සිදු වී ඇති රුපියල් මිලියන 13,200ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මූල්‍ය විශේෂඥයන් බරපතල ප්‍රශ්න කිරීම් මාලාවක් මතු කැර තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සතු අතිශය නවීන පද්ධතිවලට මෙම අක්‍රමිකතාවය හසු නොවීම පිළිබඳව ඔවුහු දැඩි සැකයක් පළ කරති.
මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය බුද්ධි ඒකකය හරහා සැකකටයුතු ගනුදෙනු නිරීක්ෂණයට අතිශය සංකීර්ණ පද්ධතියක් භාවිතා කරයි.
2006/2007 කාලයේදී එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් ගේ මඟපෙන්වීම යටතේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා මාලා දයාරත්න මෙහි මූලික පද්ධති ස්ථාපනය කැර තිබේ. පසුව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ අමෙරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික සහාය ඇතිව එය තවදුරටත් නවීකරණය කෙරිණි.
වර්තමානයේදී මූල්‍ය බුද්ධි ඒකකයේ ‘LankaFIN’ මෙහෙයුම් සඳහා ලොව පිළිගත්, අතිශය මිල අධික “goAML” නමැති දියුණු විශ්ලේෂණ පද්ධතියක් භාවිතා වේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මෙම පද්ධතිය කෙතරම් සියුම් ද යත්, ගනුදෙනුකරුවන්, බැංකු, කාලසීමාවන්, මුදල් ප්‍රමාණ සහ ගනුදෙනු රටාවන්හි පුනරාවර්තනයන් පවා ඉතා නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව ඊට ඇත. අසාමාන්‍ය තත්ත්වයක් දුටු විගස පද්ධතියෙන් “සැකකටයුතු ගනුදෙනු වාර්තා” (STR) ජනනය කැර “රතු කොඩි” (Red-flags) මගින් ඒ බව සලකුණු කෙරේ. එවැනි වාර්තා වහාම මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා සුබානි කීර්තිරත්න, සහකාර අධිපතිනි එනෝකා මොහොට්ටි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ අවධානයට යොමු වේ.
රුපියල් 900,000ක තරම් කුඩා ගනුදෙනුවකදී පවා බැංකු විසින් ගනුදෙනුකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නේ මෙම මධ්‍යම පද්ධතියට ඔවුන් වගකිව යුතු බැවිනි.
මූල්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙතරම් දැඩි අධීක්ෂණයක් තිබියදීත් NDB බැංකුවෙන් රුපියල් මිලියන 13,200ක දැවැන්ත මුදලක් පිටවීම මූල්‍ය බුද්ධි ඒකකයට හසු නොවීම කිසිසේත් තේරුම් ගත නොහැකි බවයි.
වාර්තා වන පරිදි, අදාළ බැංකුවේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් විසින් මෙම මුදල සූක්ෂ්මව පිටකර ඇත්තේ CEFTS ක්‍රමය හරහා වරකට රුපියල් මිලියන 5 බැගින් වූ ගනුදෙනු මාලාවකිනි. ඒ අනුව මාස කිහිපයක් පුරා මෙවැනි සමාන ගනුදෙනු අවම වශයෙන් 2,640ක් වත් සිදුවී තිබිය යුතුය.
මෙවැනි අඛණ්ඩ හා පුනරාවර්තන ගනුදෙනු මාලාවක් පද්ධතියේ “රතු කොඩි” යටතේ සලකුණු නොවූයේ කෙසේද යන්නත්, ඒ පිළිබඳව අධිපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය දැනුවත් නොවූයේ කෙසේද යන්නත් බරපතළ ගැටලුවක් බව මෙම විශේෂඥයෝ පවසති.
මෙම පැහැදිලි මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් මහ බැංකු බලධාරීන් දැඩි නිහඬතාවක් රැකීම පිළිබඳව ප්‍රශ්න කරන ඔවුහු, එය පහත කාරණාවලින් කුමක්දැයි විමසා සිටිති:
* මෙය පරම අදක්ෂතාවයක්ද?
* දැඩි නොසලකා හැරීමක්ද?
* සෘජු සම්බන්ධයක් සහ කුමන්ත්‍රණයක්ද?
* නැතහොත් දැනුවත්ව අනුබල දීමක්ද?
ජාතික වශයෙන් ඉතා වැදගත් වන මෙම සිදුවීම සම්බන්ධයෙන්, වගකිවයුත්තන් මතම තවදුරටත් විශ්වාසය නොතබා වහාම ස්වාධීන සහ විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙහි සත්‍යය රටට හෙළිදරව් කැර ගැනීම අත්‍යවශ්‍ය බව මූල්‍ය විශේෂඥයෝ තරයේ අවධාරණය කරති.
Source – The Leader
