
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු කොළඹ වටිනා ඉඩම් කිහිපයක් අවභාවිතා කිරීම සහ විවිධ සමාගම් වෙත පැවරීමේ සිදුවීම් මාලාවක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) දීර්ඝව සාකච්ඡා වී තිබේ.
ඩාර්ලි පාරේ ඉඩම තෙවැනි පාර්ශ්වයකට විකුණලා
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (නිවාස සහ වෙළෙඳ සංකීර්ණ) ආරම්භ කිරීම සඳහා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක් විදේශීය සමාගමකට ලබා දී තිබුණි. කෙසේ වෙතත්, අදාළ සංවර්ධන කටයුතු සිදු නොකර එම සමාගම ඉඩම වෙනත් සමාගමකට පවරා ඇත.
පසුව එම දෙවැනි සමාගම 2017 වසරේදී එහි “අංක 5 කොටස” තෙවැනි සමාගමකට විකුණා ඇති අතර, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන අධිකාරිය අදාළ විකුණුම් ඔප්පුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් තෙවැනි සමාගම අධිකාරියට විරුද්ධව මේ වන විට අධිකරණයේ නඩු තුනක් පවරා ඇත.
පිළිබඳව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින්ද පරීක්ෂණ පවත්වන අතර, ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතු ව පවතින බව නිලධාරීහු තහවුරු කළහ.
නාවල ඉඩම බැංකුවකට උකස් කරලා
නාවල, පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ද කොන්දේසි සහිත සින්නක්කර ඔප්පුවකින් පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර, එම සමාගම ඉන් කොටසක් වෙනත් සමාගමකට පවරා, ඉතිරි කොටස පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන ඇති බව කමිටුවේදී අනාවරණය විය.
මෙම ඉඩමේ ද ඔප්පු අධිකාරිය විසින් අවලංගු කර ඇති අතර, ඊට එරෙහිව චූදිත සමාගම අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇත. මීට අමතරව, වෙනත් පුද්ගලයෙකු ද මෙම ඉඩම තමාගේ පෞද්ගලික දේපොළක් බව පවසමින් අයිතිය ඉල්ලා නඩු පවරා තිබේ.
මාලිගාවත්ත පෙර පාසල් ඉඩම ගැනත් අවධානය
මීට අමතරව මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන යනු ලබන පෙර පාසලකට අයත් ඉඩම් කොටසක් සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම සියලු වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ නඩු කටයුතු මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බවත්, රජයේ දේපළ සුරක්ෂිත කිරීම සඳහා උපරිම නීතිමය පියවර ගන්නා බවත් පැමිණ සිටි උසස් නිලධාරීහු කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.
( Source -The Leader)
