Impartial news reporting for a stronger democratic society
භූක­ම්ප­න­යෙන් කොලො­ම්බි­යාව සසලවෙයි ! 2,700ක් අතු­රු­දන් : 300කට වැඩියෙන් මිය ගිහින් : තුවාලකරුවන් 600කට වැඩි : ගුවන් ගමන් නවතී : ජාතික ආපදා තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කරයි

කොලො­ම්බි­යාවේ සිදුවූ දැවැන්ත භූක­ම්ප­න­ය­කින් පුද්ග­ල­යන් 300 දෙනකු වැඩි පිරිසක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, විනාශ වූ ගොඩ­නැ­ඟිලි සුන්බුන් අතර තවත් විශාල පිරි­සක් සිරවී සිටින බවට තොර­තුරු පළ­වීම හේතු­වෙන් මරණ සංඛ්‍යාව තව­දු­ර­ටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 බට­හිර කොලො­ම්බි­යාවේ පැසි­ෆික් සාග­ර­යට මුහුණලා පිහිටි සැන් ජොසේ ඩෙල් පැල්මා ගම්මා­නය කේන්ද්‍ර කර­මින් පෙරේදා උදෑ­සන 7.30ට පමණ මේ භූක­ම්ප­නය සිදුවී ඇති අතර, 600කට වැඩියෙන් පිරි­සක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

භූක­ම්ප­න­යත් සමඟ එම කලා­පයේ නගර රැසක ගොඩ­නැ­ඟිලි සහ නිවාස දෙද­හ­ස­කට වඩා බිඳ වැටී ඇති බවත්, වැඩිම මරණ සංඛ්‍යාව පෙරේ­යිරා නග­ර­යෙන් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

අහස උසට විහි­දුණු ගොඩ­නැ­ඟිලි කඩා වැටී­මෙන් එම පළාතේ මාර්ග රැසක් සුන්බු­න්ව­ලින් අව­හිර වීමෙන් ආපදා කට­යු­තු­ව­ලට බාධා එල්ල වී ඇති අතර, සහන සේවා කණ්ඩා­යම් සහ ගිනි නිවන භට­යන් සමඟ එක්වූ නග­ර­වා­සීන් සුන්බුන් ඉවත් කිරිම සඳහා දැඩි උත්සා­හ­යක නිර­තව සිටින බව වාර්තා වේ. ආපදා මෙහෙ­යුම් කණ්ඩා­ය­ම්ව­ලට සහ ආර­ක්ෂක අංශ­ව­ලට සුන්බුන් අතර සිර­වූ­වන් මුදා ගැනීමේ කට­යුතු පහසු කිරිම සඳහා එදින පෙර­ව­රුවේ සිට ඇඳිරි නීතිය පනවා තිබේ. කොලො­ම්බි­යාවේ සිවිල් ගුවන් සේවා බල­ධා­රින් ප්‍රකාශ කර ඇත්තේ බට­හිර කලා­පයේ ගුවන් තොටු­පොල රැසක මෙහෙ­යුම් තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සිදුවී ඇති බවය.

පෙරේදා පස්ව­රුව වන විට අතු­රු­දන්වූ සිය පවුලේ සාමා­ජි­ක­යන් සහ ඥාතීන් පිළි­බඳ තොර­තුරු එරට බල­ධාරීන් විසින් ඩිජි­ටල් දත්ත පද්ධ­ති­යට ඇතු­ළත් කිරීම ආරම්භ කර ඇති අතර, ඊයේ වන විට පුද්ග­ල­යන් 2,700කට වැඩි පිරි­සක් අතු­රු­දන් වී ඇති බවට තොර­තුරු වාර්තා වී තිබේ. මේ සංඛ්‍යාව සැල­කිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි කොලො­ම්බි­යාවේ බල­ධා­රින් ප්‍රකාශ කර තිබේ.

කොලො­ම්බි­යාවේ වසර 10කට පසු සිදුවූ දැවැ­න්තම භූක­ම්ප­නය මෙය වන අතර, මීට පෙර 2016 අප්‍රේල් මාසයේ සිදුවූ රිච්ටර් මාප­කයේ 7.8ක භූක­ම්ප­න­ය­කින් පුද්ග­ල­යන් 676 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පව­තින තත්ත්වය සැල­කි­ල්ලට ගෙන කොලො­ම්බි­යාවේ ජනා­ධි­පති ඇබෙ­ලාර්ඩෝ ඩි ලා එස්ප්‍රි­යෙලා රට තුළ ජාතික ආපදා තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. පසු­ගිය සිකු­රාදා කොලො­ම්බි­යාවේ නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිවු­රුම් දුන් එස්ප්‍රි­යෙ­ලාට මේ ඛේද­වා­ච­කය විශාල අභි­යෝ­ග­යක් වනු ඇතැයි එරට දේශ­පා­ලන විචා­ර­ක­යන් ප්‍රකාශ කර තිබේ. ඊයේ වන විට ඔහු අය­වැය ප්‍රති­පා­දන නැවත වෙන් කිරිම ඇතුළු හදිසි අව­ස්ථා­වන්ට මුහුණ දීම සඳහා විශේෂ පිය­වර රැසක් ගෙන ඇතැයි ද වාර්තා වේ. භූක­ම්ප­නයේ බල­පෑම කොලො­ම්බි­යාව අවට පිහිටි වෙනි­සි­යු­ලාව, ඉක්ව­දෝ­රය සහ පැනමා රට­ව­ල­ටත් දැනී ඇති අතර, සිදුවූ දරුණු විනා­ශය රට­වල් රැසක රාජ්‍ය නාය­ක­යන්ගේ ද අව­ධා­න­යට ලක්වී තිබේ. විප­තට පත්වූ­වන් වෙනු­වෙන් රජ­යට සහය දැක්විම සඳහා අමෙ­රි­කා­වෙන් ඩොලර් මිලි­යන 15.5ක හදිසි ආපදා සහ­නා­ධාර ලබා­දී­මට තීර­ණය කැර ඇති අතර, තවත් රට­වල් රැසක් දැන­ට­මත් ඒ සඳහා ඉදි­රි­පත් වී සිටී. යුරෝපා සංග­මය එල් සැල්ව­දෝ­රය ඇතුළු රට­වල් සහ කලා­පීය සංගම් රැසක් මුදා ගැනීමේ මෙහෙ­යුම් කණ්ඩා­යම් කොලො­ම්බි­යාව වෙත පිටත් කිරි­මට සැල­සුම් කර ඇති අතර, අව­තැ­න්වූ­වන්ට සහන සැල­සී­මට මූල්‍යා­ධාර සහ අත්‍ය­වශ්‍ය භාණ්ඩ සැප­යී­මට පිය­වර ගන්නා බව ද ප්‍රකාශ කර තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp