
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුව අද (මැයි 20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි.
ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ පසු වන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ප්‍රධාන මහ මොළකරු….
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රංශයේදී අසාත් මවුලානා නැමැත්තාගෙන් ලබාගත් පිටු 14ක ප්‍රකාශයට අනුව, මෙම ප්‍රහාරයේ ප්‍රධාන මහ මොළකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ප්‍රකාශ කෙළේය.
මාස හයකින් එළඹීමට තිබූ ඡන්දයක් ඉලක්ක කැර ගනිමින්, දේශපාලන අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව ඔහු අධිකරණය හමුවේ අවධාරණය කැර සිටියේය.
සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් හයදෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී ඇති බවත්, සහරාන්ගේ කල්ලියේ සාමාජිකයෙකු වූ සෙයිනි මවුලවිට ඇප ලබා ගැනීමට යුද හමුදා බුද්ධි අංශයෙන් මුදල් ගෙවා ඇති බවත් අතිරේක සොලිසිටර් වරයා පැවසිය.
පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව දේශපාලන කොන්ත්‍රාත් වෙනුවෙන් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම වැනි අපරාධ සිදු කැර ඇති බවට ද ඔහු චෝදනා කෙළේය.
සැකකරුගේ ජීවිතයට තර්ජනයක් පවතින බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙසත්, සැකකරු 127 වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීමට සැරසෙන්නේ විමර්ශනය අඩාළ කිරීමට බවත් පැමිණිල්ල තර්ක කෙළේය.
විත්තියේ (සුරේෂ් සලේ වෙනුවෙන්) තර්ක
ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දැක්වීය.
අසාත් මවුලානා ප්‍රංශයේදී ලබා දුන් ප්‍රකාශය අධිකරණය හමුවේ හරස් ප්‍රශ්නවලට ලක්ව නොමැති බැවින් ඒවා සාක්ෂි ලෙස පිළිගත නොහැකි බව ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.
එමෙන්ම ඔහු මුලින් ප්‍රකාශය කළ ‘චැනල් ෆෝ’ නාලිකාව විශ්වසනීයත්වයෙන් තොර එකක් බවයි.
සැකකරුවන්ගේ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය නොවන බවට පැමිණිල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කළ විත්තියේ නීතිඥවරයා, නීතිපතිවරයා මෙවැනි ඉල්ලීම් කිරීම නීතිඥවරුන්ගේ පරම අයිතිය නැති කිරීමක් සහ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කෙළේය.
සැකකාර සුරේෂ් සලේට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බවත්, එය එදිනම ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටියේය.
“පැමිණිල්ල දිගින් දිගට ම සඳහන් කළා ප්‍රංශයට ගොස් අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කැර ගත් බව. නමුත් මේ ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සාක්ෂි වශයෙන් පිළිගන්න බැහැ. සාක්ෂි වශයෙන් පිළිගන්න නම් ඒවා අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න අසා අභියෝගයට ලක්විය යුතු යි. ඔහු මේ ප්‍රකාශය සිදු කෙළේ චැනල් ෆෝ නාලිකාවට. චැනල් ෆෝ නාලිකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්. එය කිසිදු විශ්වසනීයත්වයකින් තොර නාලිකාවක් හැටියටයි ප්‍රකට වෙලා තිබෙන්නේ.
මේ නඩුවේ සාක්ෂිකරුවන් කීප දෙනෙකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට ලබා දුන් ප්‍රකාශවල පිටපත් විත්තිය විසින් ලබා ගැනීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළා. ඉතින් මේ ප්‍රකාශවල පිටපත් සීඅයිඩියට ගන්න පුළුවන්නම් අපට ගන්න බැරි ඇයි? ඒ වගේ ම අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළා මේ සැකකරුවන්ගේ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය නොවන බවට. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. මොකද මේක නීතිඥවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. නීතිපතිවරයා මේ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම නීතිඥවරුන්ගේ පරම අයිතිය නැති කිරීමක් හැටියට යි සඳහන් කරන්න වෙන්නේ.
මගේ සේවාදායකයාව නොමරා මරන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මගේ සේවාදායකයා පසුගිය වතාවේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබා දෙන්න අවසර ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා සිතා බලා පිළිතුරක් ලබා දෙන ලෙසට. ඒ අනුව මගේ සේවාදායකයා අද මට උපදෙස් ලබා දීලා තිබෙනවා ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට අධිකරණයට දැනුම් දෙන ලෙසට. එම ප්‍රකාශය අද දින ම වාර්තා කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා.”
ඉන් අනතුරුව කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අදාළ බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව ය.
අධිකරණ තීන්දුව සහ මීළඟ පියවර
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 01 වැනි දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කෙළේ ය.
එමෙන් ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අවසර දෙන ලෙස සුරේෂ් සලේ කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
එතෙක්, සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙළේ ය. (Source – The Leadar)
