Impartial news reporting for a stronger democratic society
දෙරණ හා දිලිත්ගේ පක්ෂ සාමාජිකයකු බොරු සමාජ ගත කරලා : ලොතරැයි මණ්ඩලයේ සභාපති මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි !

අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදු කළ බවට චෝදනා කරමින්, සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණ ට සහ එම ප්‍රකාශය මූලිකත්වය දෙමින් විකාශය කළ දෙරණ මාධ්‍ය ජාලයට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසි 02ක් යොමු කැර  ඇති බව අනාවරණට වෙයි.

නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මාර්ගයෙන් 2026 ජුනි 22 වැනි  දිනැති මෙම එන්තරවාසිය යොමු කැර ඇත.

එහි සඳහන් වන පරිදි 2026 ජුනි 19  වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නලින් පතිරණ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කැර ඇත්තේ ඇන්ටන් පෙරේරා, රජයේ සේවයේ නියුතුව සිටියදී එකවර ආයතන තුනකින් වැටුප් ලබාගෙන ඇති බවයි.

සමාජ සේවා අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ලෙසත්, ඕස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරි ලෙසත්, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයකු ලෙසත් කටයුතු කරමින් පෙරේරා මෙම වැටුප් ලබාගත් බවට එහිදී චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ තනතුර සඳහා කැබිනට් තීරණයක් අනුව ඔහුට හිමි වූයේ රුපියල් 21,527.50ක මාසික දීමනාවක් පමණක් බව පෙරේරා වෙනුවෙන් එන්තරවාසිය යොමු කළ නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරි ලෙස කටයුතු කළ කාලය තුළ එම ව්‍යාපෘතියේ සේවය කළ අනෙකුත් අමාත්‍යංශයේ නිල නිලධාරීන්ට මෙන්ම දීමනාවක් ලැබුණු බව ද මෙහිදී පෙන්වා දී ඇත.

සුගීෂ්වර බණ්ඩාර නමැති අයකු සම්බන්ධයෙන් පෙරේරා කිසිදු පැමිණිල්ලක් සිදු කැර නොමැති බවත්, නලින් පතිරණ මහතා සිදු කළ ප්‍රකාශය ද්වේශ සහගතව හා සිය කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවත් එන්තරවාසිය මඟින් පෙන්වා දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු මෙන්ම වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරයකු වන ඇන්ටන් පෙරේරා, 1992 වසරේ සිට ක්‍රීඩා දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක ප්‍රධාන ගණකාධිකාරි ධුරය දරා ඇති කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි. ඔහු 2020 වසරේදී විශ්‍රාම ලබා ඇති අතර, 2024 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කැර තිබේ.

නලින් පතිරණ මහතාගේ ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් දින 07ක් ඇතුළත ගෙවන ලෙසත්, එය විධිමත් ලෙස කරුණු සොයා බැලීමකින් තොරව ප්‍රචාරය කිරීම හේතුවෙන් දෙරණ මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 500ක මුදලක් දින 07ක් තුළ ගෙවන ලෙසත් එසේ නොමැති නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ එන්තරවාසිය මඟින් දැනුම් දී තිබේ

( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp