
බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල ජාතික ක්ෂණික ගෙවීම් පද්ධති සහ මහ බැංකු ඩිජිටල් මුදල් එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව පිළිබඳ මේ වන විට අවධානය යොමු වී ඇති බව අනාවරණය වෙයි.
මෙමඟින් දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සඳහා පිරිවැය අවම කැර ගැනීමට සහ දේශසීමා හරහා සිදුවන ගෙවීම් ඉහළ නැංවීමට ඇති හැකියාව සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වසරේ සිට බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලැබීමට නියමිත ඉරානය ද ඒ සඳහා පූර්ණ සහයෝගය පළ කැර ඇති අතර, බ්‍රික්ස් රටවල් සමඟ වෙළෙඳාම පුළුල් කැර ගැනීමට පමණක් නොව , මූල්‍ය සම්බාධකවලින් එල්ල වන බලපෑම් අවම කැර ගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරිමට එමඟින් හැකිවනු ඇතැයි ඉරාන මහ බැංකුවේ අධිපති අබ්දොල් නසාර් විශ්වාසය පළ කැර තිබේ. කෙසේ වෙතත් මේ යෝජනා තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව ඉන්දීය මහ බැංකුවේ අධිපති සංජේ මල්හෝත්‍රා ප්‍රකාශ කැර තිබේ.
අමෙරිකාව ඇතුළු ලොව බලවත්ම රටවල් ඇතුළත් ජි-7 සංවිධානයට විකල්පයක් ලෙස 2009 වසරේදී ආරම්භ කළ බ්‍රික්ස් සංවිධානය යුරෝපයට සහ අමෙරිකාවට එරෙහිව ගොඩ නැඟුණු ප්‍රබල බලවේගයක් ලෙස විචාරකයන් හඳුන්වන අතර, බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්වී ඇතැයි ද වාර්තා වේ. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව බ්‍රික්ස් සංවිධානයට ඇතුළත් වෙයි.( දිනමිණ ඇසුරෙන්)
