Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් ! පුද්ගලයන් විශාල පිරිසක් මරුට – තවත් පිරිසක් ගොඩනැගිලි සුන්බුන් යට

ඊශ්‍රායල  ගුවන්හමුදාව ලෙබනනයේ ඉස්බුලා  කඳවුරක් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයන්  විශාල පිරිසක් මියගොස් , තවත්ති පිරිසක් ගොඩනැගිලි සුන් බුන් යට  සිර වී සිටින බව බිරූට් නුවර සිටින Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී පවතින අතර, කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට බොහෝ පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරන බව Cyber World Press   පවසයි.

ඊශ්‍රායලය මෙම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ, මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.

විනාඩි 10ක් ඇතුළත හිස්බුල්ලා සංවිධානයට අයත් විධාන මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු 100කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසයි.

බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශ, දකුණු ලෙබනනය සහ නැඟෙනහිර බෙකා නිම්නය මෙම ප්‍රහාරවල ඉලක්කය බවට පත් විය.

අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා මැදිහත් වූ පකිස්තානය ප්‍රකාශ කෙළේ එම එකඟතාවය ලෙබනන් ගැටුමට ද අදාළ වන බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත..

ලෙබනන් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ “ලෙබනනය කලාපීය සාමය සඳහා වන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට” තවදුරටත් උත්සාහ කරන බවයි.

හිස්බුල්ලා සංවිධානය ද මෙය “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස හඳුන්වමින්, නිල සටන් විරාමයක් ප්‍රකාශ කරන තෙක් නිවෙස් බලා නොයන ලෙස අවතැන් වූ පවුල්වලින් ඉල්ලා සිටි බව Cyber World Press   විශේෂ නියෝජිත සඳහාන් කරයි.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ මෙම යුද්ධයේ මුල් අවධියේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම ගැටුම් උත්සන්න විය.

නිරීක්ෂකයින් පවසන්නේ හිස්බුල්ලා සංවිධානය දුර්වල වී ඇතැයි උපකල්පනය කළ ද, ඔවුන් සතු යුද ශක්තිය විශ්මයජනක බවයි.

කෙසේ වෙතත්, ලෙබනනය අනවශ්‍ය යුද්ධයකට ඇද දැමීම සම්බන්ධයෙන් එරට තුළම හිස්බුල්ලා සංවිධානයට දැඩි විවේචන ද එල්ල වෙමින් පවතී.

පවතින උග්‍ර තත්ත්වය හමුවේ ලෙබනන් රජය ඓතිහාසික ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ඊශ්‍රායලය සමඟ සෘජුව සාකච්ඡා කිරීමට සූදානම් බවය.

මෙම රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති පසුබිමක මෙය විශේෂ අවස්ථාවකි. එහෙත්, ඊශ්‍රායලය මෙතෙක් එම යෝජනාවට ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහාන් වෙයි.

පාසල් සහ පොදු ස්ථාන අවතැන් වූවන්ගෙන් පිරී පවතින අතර, ආහාර සහ නවාතැන් සම්බන්ධයෙන් ලෙබනනය තුළ දැවැන්ත අර්බුදයක්  මේ වන විට නිර්මාණය වී ඇති අනාවරණය වෙයි.( අරුණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp