
මැද පෙරදිග පවතින යුද්ධ තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල සහ ආනයන පරිමාවන් ඉහළ යෑමත් සමඟ 2026 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මහ බැංකුව නිකුත් කළ 2026 මාර්තු මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව අනුව, එම මාසයේ සමස්ත ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 630.1ක් ලෙස වාර්තා වී ඇත. එය 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 360.7ක් වූ වියදමට සාපේක්ෂව 74.7%ක දැවැන්ත වර්ධනයකි.
මෙම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ලෙස පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම වේගයෙන් ඉහළ යාම පෙන්වා දෙයි. 2025 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 258.4ක් වූ එම වියදම, 2026 මාර්තු වන විට ඩොලර් මිලියන 568ක් දක්වා 119.8%කින් වැඩි වී ඇත.
එහෙත්, බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 60.6 සිට 44.1 දක්වා 27.2%කින් අඩු වී ඇති අතර, ගල්අඟුරු ආනයන වියදම ද ඩොලර් මිලියන 41.7 සිට 18ක් දක්වා 56.7%කින් පහළ ගොස් ඇත.
සමස්තයක් ලෙස 2026 වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 1,056.7 සිට 1,281.5 දක්වා 21.3%කින් ඉහළ ගොස් ඇති අතර, මෙයටත් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම ඩොලර් මිලියන 724.4 සිට 1,019.7 දක්වා 40.8%කින් වැඩි වීමයි.
ඉන්ධන ආනයන වියදම 2026 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්තියාම පුරෝකථනය කරනු ලැබිණි.
මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළෙඳ පොළේ අස්ථාවරත්වය හේතුවෙන් මෙම පුරෝකථන කෙරිණි.
ඉන්ධන ආනයන වියදම ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමේ විශාල කොටසක් වන අතර, පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු ආනයන වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා වැය වී ඇති බව වාර්තා වේ .
Source – The Leader
ගිම්හාන් ද සිල්වා
