
ඉරානයේ බන්දර් අබ්බාස් වරාය නගරයේ ගුවන්තොටුපොළ ආසන්නයේ පළාත්වලට අමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන වේලාවෙන් පසුගිය 26 වැනි දා අලුයම 4.50ට පහර දුන් බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ඊයේ(28) නිවේදනය කෙළේය.
අමෙරිකාවේ මේ ප්‍රහාරය හෙළා දකින බවට ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කැර ඇති බව ඉරානයේ ටස්නීම් පුවත් ඒජන්සි වාර්කා උපුටා දක්වමින් Cyber World Press සඳහන් කෙළේ.
එහෙත් ඉරාන හමුදාව ප්‍රහාරය එල්ල කළ අමෙරිකානු හමුදා කඳවුර පිහිටි රාජ්‍යය හෝ ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය වී නැති බවද සඳහන් වේ.
ඉරානයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී නිසි ප්‍රතිචාර දක්වන බවත්, කිසිදු ආක්‍රමණයකට ඉඩ නොතබන බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සිය නිවේදනය කැර බව Cyber World Press සඳහන් කරයි.
මේ අතර කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවත්, සිය ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් එම ප්‍රහාර වැළැක්වූ බවත් කුවේට් හමුදාව පසුගිය 26 වැනි දා නිවේදනය කර ඇති අතර, එම ප්‍රහාර සිදු කළ පාර්ශ්වය කවරේදැයි සඳහන් කැර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුවේට් රාජ්‍යය තුළ සිදුවන ඕනෑම ප්‍රහාරයක් හෝ පිපිරීමක් වළක්වා ගැනීමට එරට ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකියාව ඇතැයි ද කුවේට් හමුදාව වැඩිදුරටත් නිවේදනය කැර තිබේ. කුවේට් රාජ්‍යයේ ජනතාවට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙස රජය දැනුම් දී තිබේ.
