
අමෙරිකානු හමුදාව දින දෙකක් ඇතුළත පිට පිට දෙවැනි වරටත් ඉරානයට බෝම්බ දමා ඇති බව Cyber World Press වාර්තා කරයි.
අමෙරිකාවේ මධ්‍යම අණදෙන හමුදා මධ්‍යස්ථානය නිවේදනය කැර ඇත්තේ මේ දෙදින ඇතුළත ඉරානයේ ඉලක්ක 170කට පහර දුන් බවයි. ඉරානයේ බන්දර් අබ්බාස් වෙරළ නගරයේ පිහිටි ඉරාන හමුදා සන්නිවේදන මධ්‍යස්ථානය සහ කිෂ්ම් දූපතේ පිහිටි ඉරාන මිසයිල නාශක පද්ධතිය ඉලක්ක කරමින් ප්‍රහාර මාලාව සිදු කළ බව එම නිවේදනයේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කටාර් සහ සවුදි තෙල් නෞකා තුනකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව පෙරේදා පළමු ප්‍රහාරය සිදු කළ අතර, ඊයේ දෙවැනි ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙපාර්ශ්වය අතර සටන් විරාමය අවසන් වූ බවට අමෙරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයෙන් පසුව බව ද වාර්තා වේ.
අමෙරිකානු ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන රජය නිවේදනය කැර ඇති අතර, හමුදා සෙබළුන් 8 දෙනකු ද ඒ අතර සිටින බව තහවුරු කර තිබේ.
ඉරානයේ බුෂෙයිර් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයකු ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රාන්තයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරය අමෙරිකානු ප්‍රහාරයට ලක්වූ බවය. කෙසේ වෙතත් එම ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැති බව ද වාර්තා වේ. මේ දෙදින ඇතුළත අමෙරිකානු හමුදාව ඉරානයේ ප්‍රාන්ත 5ක් ඉලක්ක කළ බවත්, එම ප්‍රහාරවලින් පුද්ගලයන් 78 දෙනකු තුවාල ලැබූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ප්‍රහාරවලින් දකුණු ඉරානයේ ඉරාන්ෂාර් ප්‍රාන්තයේ ගුවන්තොටුපොළේ ගොඩනැඟිල්ලකට හානි සිදුවූ බව එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කැර තිබේ.
මේ අතර අමෙරිකානු ප්‍රහාරමාලාවට ප්‍රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදාව දෙවැනි දිනයටත් බහරේන් සහ කුවේට් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කැර ඇති අතර, ඊයේ දිනයේදී ජෝර්දානයට සහ සාම ගිවිසුමේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යයට ද පහර දී ඇතැයි වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)
