
අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස විදේශයන් වෙත යැවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක බැංකු කළමනාකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කැර ඇති අතර, අදාළ බැංකු කළමනාකරුවන් සිව්දෙනාම තමන් සේවය කළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් බැංකු කළමනාකරුවන් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව පොලීසිය සඳහන් කැර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මුදල් නීති විරෝධීව විදේශයන් වෙත යැවීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා මෙම බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.
ඒ අනුව, එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් 10,0000වැනි මුදල් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.( දිනමිණ ඇසුරෙන්)
