
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පසුගියදා පිපිරී ගිය කාර් බෝම්බයට සම්බන්ධ බවට විමර්ශකයන් විසින් හඳුනාගනු ලැබූ පාකිස්තානය කේන්ද්‍ර කරගත් ජයිෂී මොහම්මඩ් ත්‍රස්ත සංවිධානය ඉන්දියාවේ තවත් ප්‍රහාරයක් සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් සූදානම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එරට බුද්ධි අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය කියයි.
එම සංවිධානය පාකිස්තානයේ ‘සාදාපේ‘ නමැති මුදල් ගෙවීමේ මෘදුකාංගය ඇතුළු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඒ සඳහා අරමුදල් රැස් කරමින් සිටින බවද ඉන්දීය විමර්ශකයන් අනාවරණය කරගත් බව එන්ඩීටීවී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ජයිෂී මොහම්මඩ් ත්‍රස්ත නායක මසූද් අසාර්ගේ සොයුරිය වන සාඩියා නමැති කාන්තාවක් විසින් මෙහෙයවනු ලබන කාන්තා අංශයක්ද එම සංවිධානය සතුව ඇති බවත්, එහි මූලිකත්වයෙන් ඉදිරියේදි කාන්තාවන් භාවිත කරමින් ඉන්දීය භුමියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කිරිමට ත්‍රස්ත සංවිධානය එම අරමුදල් රැස් කරමින් සිටින බවත් හෙළි වී ඇතැයි වාර්තා වේ. පසුගිය අප්‍රේල් මාසයේ කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉන්දීය හමුදාව පාකිස්තානයේ බහවල්පූර් ප්‍රදේශයේ පිහිටි ජයිෂ් මොහොම්මඩ් ත්‍රස්ත සංවිධානයේ කඳවුරු විනාශ කිරීමෙන් පසු එම කාන්තා අංශය පිහිටුවා ඇතැයි ද වාර්තා වී තිබේ. නව ප්‍රහාරය සඳහා අරමුදල් එක්රැස් කිරිමේ වගකීම පවරා ඇත්තේ නවදිල්ලි ප්‍රහාරයේ සැකකාරියක වන ශහිනා සයිඩ් නමැති වෛද්‍යවරියකට බවත්, ඇය ද ජයිෂි මොහම්මඩ් ත්‍රස්ත සංවිධානයේ ජමාතුල් මූමිනාට් නමැති එම කාන්තා අංශයේ සාමාජිකාවක බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කෙකෙය.(දිනමිණ-ඇසුරෙන්)
