Impartial news reporting for a stronger democratic society
බාධා­ව­කින් තොරව ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රති­කාර දෙන්නැයි හිටපු ක්‍රිකට් නාය­ක­යෝ 22ක් පාකි­ස්තාන අග­මැ­තිට ලිපි­යක් යවයි

බන්ධ­නා­ගා­ර­ගත වී සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ වෛද්‍ය ප්‍රති­කාර සම්බ­න්ධව එරට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් නිකුත් කළ නියෝ­ගය පරිදි කිසිදු බාධා­ව­කින් තොරව ඔහුට ප්‍රති­කාර ලබා දෙන ලෙස ඉල්ලා ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ හිටපු නාය­ක­යන් 22 දෙනකු පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ්ට ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 පාකි­ස්තා­න­යට ලෝක කුස­ලා­නය දිනා දුන් එර­ටින් බිහිවූ විශි­ෂ්ට­තම ක්‍රිකට් නාය­කයා ද වන ඉම්රාන්ට පෞද්ග­ලික රෝහ­ලක වෛද්‍ය පරි­ක්ෂ­ණ­ව­ලට පෙනී සිටී­මට සහ පවුලේ ඥාතීන් හමු­වී­මට අව­ස්ථාව දෙන ලෙස පසු­ගි­යදා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියෝග කළ ද, රෝහ­ල්ගත කර වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට ලක් කිරී­මෙන් පසු නැවත බන්ධ­නා­ගා­රය වෙත රැගෙන යෑම අව­ධා­ර­ණය කර­මින් එම ලිපිය යොමු කර ඇතැයි වාර්තා වේ.

එම ක්‍රියා­ව­ලිය අධි­ක­රණ නියෝ­ග­යට පට­හැ­නිව සිදු වී ඇති බැවින්, 73 හැවි­රිදි ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර සුදුසු ප්‍රති­කාර ලබා දීමට පිය­වර ගන්නා ලෙස හිටපු ක්‍රිකට් නාය­ක­යන් සිය ලිපි­යෙහි සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නියෝ­ගය පරිදි ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන්ට සති­ය­කට වරක් ඔහු හමු­වී­මට අව­සර දෙන ලෙසත් එම ලිපි­යෙන් ඉල්ලා තිබේ.

ඉන්දි­යාවේ හිටපු නාය­ක­යන් වන සුනිල් ගව­ස්කර්, කපිල් දේව්, ඔස්ට්‍රේ­ලි­යානු පිලේ හිටපු නාය­ක­යන් වන ඉයන් චැපල්, ග්‍රෙග් චැපල්, ඇලන් බෝඩර්, කිම් හියුස්, ස්ටීව් වෝ, ඇඩම් ගිල්ක්‍රිස්ට්, නව­සී­ලන්ත පිලේ හිටපු නායක ජෝන් රයිට්, එංග­ලන්ත පිලේ හිටපු නාය­ක­යන් වන නසාර් හුසේන්, මයික් ඇත­ර්ටන්, ඩේවිඩ් ගවර්, බට­හිර ඉන්දීය පිලේ හිටපු නායක ක්ලයිව් ලොයිඩ් සහ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණ­තුංග ඇතුළු ක්‍රීඩ­ක­යන් එම ලිපි­යට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ඔවු­න්ගෙන් 14 දෙනකු පසු­ගිය පෙබ­වා­රි­යේදී ද ඉම්රාන්ට වෛද්‍ය ප්‍රති­කාර හා මානු­ෂීය සැල­කිල්ල ලබා දෙන ඉල්ලා පාකි­ස්තාන අග­මැ­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කැර ඇතැයි වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp