
මෙරට ජන සන්නිවේදනය පිළිබඳ ප්‍රථම විශ්වවිද්‍යාල ආචාර්යවරයා මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යායේ පුරෝගාමියා වූ මහාචාර්ය විමල් දිසානායක මහතා අමෙරිකාවේ හවායි හිදී අභාවප්‍රාප්ත වෙයි.
අභාවප්‍රාප්ත වෙන විට මහාචාර්ය විමල් දිසානායක මහතා වයස අවුරුදු 86කි.
මහාචාර්ය විමල් දිසානායක, ශ්‍රී ලාංකේය සාහිත්‍ය විචාරය, ජන සන්නිවේදනය, සිනමා අධ්‍යයනය සහ ආසියානු සන්නිවේදන න්‍යායයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ප්රමුඛ විද්වතෙකි, කවියෙකි, මෙන්ම ග්රන්ථ කතුවරයෙකි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භක නියමුවකු ලෙස කටයුතු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජන සන්නිවේදන විෂයය ශාස්ත්‍රීය මට්ටමින් හඳුන්වා දීමට මුලපිරූ ප්‍රධාන විද්වතෙක් වන්නේ ද මහාචාර්ය විමල් දිසානායකයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් මහාචාර්ය විමල් දිසානායක මහතා, පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙක් ලෙස හැඳින්වේ.
සිය ප්‍රථම උපාධිය සඳහා එතුමා විෂයන් ලෙස තෝරා ගත්තේ සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි.
ඉන්පසු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය කැර ගනිමිනි.
ඉන්පසුව 1975 දී අධි ශිෂ්‍යත්වයක් ලැබ පෙන්සිල්වේනියා සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලබා ගන්නේ ජන සන්නිවේදනය හා සිනමාව විෂයය කැර ගනිමිනි.
මෙරට සන්නිවේදන විෂයයෙහි පුරෝගාමී විද්වතුන් වූ විමල් දිසානායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ පළමු අංශාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, 1979 දී අමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයට පත් වීමක් ලැබ විදේශගත විය.
ඔහු එහි ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය පදවියක් ද උසුලනු ලැබීය. බ්‍රිතාන්‍යයේ BBC ගුවන්විදුලි සේවය මඟින්ද එතුමාව විශේෂ ඇගයීමකට ලක් කැර තිබේ.
(Source- The Leader)
