

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත වන බවත්, එසේ නොමැතිනම් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම සිදු කැර ඇත්තේ ඉරානය සමඟ එකඟතාවක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු ඉහළ යෑමෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ද පහළ වැටෙමින් පවතින අතරතුරදීය. හෝමූස් මුහුදු තීරයේ නෞකා ගමනාගමනය නැවත ආරම්භ කිරිමට හැකිවන ආකාරයෙන් ඉරානය සමඟ සාර්ථක ලෙස සාකච්ඡා පැවැති බව අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් දෙදෙනාම ප්‍රකාශ කැර ඇති අතර, එම ප්‍රකාශය ඉරාන රජය ප්‍රතික්ෂේප කැර තිබේ.
කැලිෆෝනියාවේ සංචාරයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කැර ඇත්තේ මේ වන විට ඉරානය සමඟ සාකච්ඡා ඉතා යහපත් ආකාරයෙන් සිදුවන බවයි. මාස කිහිපයක් පුරා පවතින ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානයට දැඩි අවශ්‍යතාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
අමෙරිකාවේ මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය ද ට්‍රම්ප්ගේ ප්‍රකාශය තහවුරු කර ඇති අතර, මේ වන විටත් හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු පසින් පිහිටි ජාත්‍යන්තර මුහුදු මාර්ගය සියලු නෞකාවලට විවෘතව පවතින බව සඳහන් කැර තිබේ. එහෙත් පසුගිය දින කිහිපය තුළ එම මුහුදු මාර්ගය භාවිත කිරීමට උත්සාහ කළ නෞකා රැසකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් ප්‍රහාර එල්ල වූ අතර, පෙරේදා ඕමානය ආසන්න මුහුදු තීරයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලයිබිරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ග්‍රීක සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඕමානයට අයත් මුහුදු තීරය අනාරක්ෂිත තත්ත්වයට පත්වී තිබේ.

