
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන කතිකාවේ වඩාත් ප්‍රබල වචන යුගලයක් බවට “අපරාධ රාජ්‍යය” පත්ව ඇත.
ජාතික ජන බලවේගය බලයට පැමිණියේ දූෂණය, රාජ්‍ය සම්පත් කොල්ලකෑම, දේශපාලන අපරාධ සහ වගවීමකින් තොර පාලනයට එරෙහිව ගොඩනැගුණු ජනතා විරෝධය මතය. එහෙත් දේශපාලන විද්‍යාත්මකව බලන විට වැදගත් ප්රශ්නය වන්නේ අපරාධ රාජ්‍යය යනු හුදෙක් නීතිමය ප්රවර්ගයක් ද, නැතහොත් බලය අත්පත් කරගැනීමට සහ නීත්‍යානුකූල කිරීමට භාවිතා කරන දේශපාලන ආඛ්යානයක්ද යන්නයි.
බලය පිළිබඳ යථාර්ථවාදී කියවීමට අනුව රාජ්‍යය කිසි විටෙකත් සදාචාරාත්මක ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය බලය සංවිධානය කිරීමේ, පවත්වාගෙන යාමේ සහ ආරක්ෂා කිරීමේ යාන්ත්රණයකි. එබැවින් “අපරාධ රාජ්‍යය” යන සංකල්පයද සමාජ යථාර්ථයක් විස්තර කරන අතරම, නව බල ව්‍යුහයක් ගොඩනැගීමට උපකාරී වන දේශපාලන භාෂාවක් ලෙසද ක්‍රියා කරයි.
2022 ආර්ථික අර්බුදයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වූයේ ආණ්ඩු වෙනසක් පමණක් නොව රාජ්‍යයේ හැසිරීමේ වෙනසකි. එහෙත් යථාර්ථවාදී දෘෂ්ටිකෝණයකින් බලන විට ඕනෑම විප්ලවීය හෝ ප්රතිසංස්කරණවාදී ව්‍යාපෘතියක් මුහුණ දෙන විශාලම අභියෝගය වන්නේ පැරණි බල ව්‍යුහයන් පරාජය කිරීම පමණක් නොව නව බල ව්‍යුහයක් නිර්මාණය කිරීමයි. ඒ නිසාම වත්මන් ආණ්ඩුවේ සැබෑ පරීක්ෂණය වන්නේ “අපරාධ රාජ්‍යය” පිළිබඳ කතිකාව දිගටම පවත්වාගෙන යාම නොව එම සංසිද්ධිය භෞතිකව නැවත ප්රතිනිෂ්පාදනය වීම වළක්වන ආයතන ගොඩනැගීමයි.
කෙසේ වෙතත් මෙහිදී තවත් වැදගත් ගැටලුවක් මතුවෙයි. එනම් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍යය භාවිතා කරන ක්‍රමවේදයන් පිළිබඳ ප්රශ්නයයි. දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒම පිළිබඳව මහ ජනයා බලාපොරොත්තු වුවද, එය සිදු කළ යුත්තේ නීතියේ ආධිපත්‍යය, සාධාරණ නඩු විභාගය සහ පුද්ගල නිදහස පිළිබඳ මූලධර්ම ආරක්ෂා කරමිනි. එසේ නොවුවහොත් “අපරාධ රාජ්‍යය” අවසන් කිරීමේ නාමයෙන්ම රාජ්‍ය බලය තවදුරටත් පුළුල් කිරීමේ අවදානමක් මතුවිය හැකිය.

විශේෂයෙන් රඳවා ගැනීමේ නියෝග සහ දීර්ඝකාලීන විමර්ශන පිළිබඳ කතිකාව මේ දිනවල නැවතත් මහජන අවධානයට ලක්වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දශක ගණනාවක් පුරා මෙම බලතල සම්බන්ධයෙන් විශාල විවාදයක් පැවතියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙනි. යුද්ධ සමයේදී ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය බව කියමින් සාධාරණීකරණය කළ මෙම පනත පසුව මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ විවේචනවලට ලක්විය.
මෙහි ඇති විශේෂ දේශපාලන උත්ප්රාසය වන්නේ, එම නීති ගෙන ආ සහ ආරක්ෂා කළ බලවේගවල ඇතැම් කොටස් අද ඒවා සංශෝධනය කිරීම ගැන කතා කිරීමමත්, කලක් ඒවාට දැඩි විරෝධයක් දැක්වූ පාර්ශවවල ඇතැමුන් අද ඒවායේ ප්‍රායෝගික වටිනාකම පිළිබඳව කතා කිරීමත්ය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගැඹුරු සත්‍යයක් මෙයින් හෙළිවේ. එනම් විපක්ෂයේ සිටින විට රාජ්‍ය බලය පිළිබඳ මූලධර්මවාදී ස්ථාවරයන් දරන පාර්ශ්ව, ආණ්ඩු බලය හිමි වූ පසු එම බලයේ උපයෝගීතාව නව ආකාරයකින් දැකීමයි.
යථාර්ථවාදී දේශපාලන විග්රහයකින් බලන විට මෙය පුදුමයට කරුණක් නොවේ. රාජ්‍යය සෑම විටම ආරක්ෂාව සහ නිදහස අතර තුලනයක් සොයයි. නමුත් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක සැබෑ ශක්තිය පෙනෙන්නේ ආණ්ඩුවකට තම දේශපාලන ප්‍රතිවාදීන් හෝ සම්බන්ධයෙන් වුවද නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තුළය. නීතිය දේශපාලන අවශ්‍යතා අනුව වෙනස්වන ආයුධයක් බවට පත්වුවහොත්, ආණ්ඩු වෙනස් වුවද රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොවේ.

මේ අතර ආණ්ඩුව ඉදිරියේ ඇති විශාලතම අභියෝගය වන්නේ ප්‍රමුඛතා නිවැරදිව තෝරා ගැනීමයි. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින සමාජයක් තුළ ආර්ථික ස්ථාවරත්වය සියලු ප්‍රතිසංස්කරණවල පදනම විය යුතුය. ජනතාවගේ ජීවන වියදම, ආයෝජන, රැකියා සහ ආදායම් පිළිබඳ ගැටලු විසඳා නොගෙන දූෂණ විරෝධී හෝ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය සමාජ සහාය දිගුකාලීනව පවත්වා ගැනීම අපහසුය.
එබැවින් ආණ්ඩුවේ පළමු වගකීම වන්නේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමයි. දෙවනුව රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතුය. පොලිසිය, අධිකරණය, රාජ්‍ය සේවය සහ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන බලපෑම්වලින් තොරව ශක්තිමත් කළ යුතුය. තෙවනුව දූෂණය, රාජ්‍ය සම්පත් අවභාවිතය සහ දේශපාලන අපරාධ පිළිබඳ වගවීම තහවුරු කළ යුතුය. ජාතිවාදය සහ ජාතික ප්රශ්නය මේ සියල්ල සමග සම්බන්ධ වුවද එය දිගුකාලීන දේශපාලන විසඳුම් අවශ්‍ය කරන ක්ෂේත්රයකි.
කෙසේවෙතත්, දේශපාලනය යනු කිසි විටෙකත් හිස් අවකාශයක සිදු නොවන දෙයකි. ඕනෑම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් විසින් නව ජයග්‍රාහකයන් සහ නව පරාජිතයන් නිර්මාණය කරයි. වත්මන් ආණ්ඩුවේ ආර්ථික, පරිපාලන හෝ දූෂණ විරෝධී ප්‍රතිපත්ති හේතුවෙන් තමන්ගේ බලය, වරප්‍රසාද හෝ දේශපාලන අවකාශය අහිමි වන බව හැඟෙන කණ්ඩායම් අනාගත විපක්ෂයේ සමාජ පදනම බවට පත්වීමේ ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පෙන්නුම් කරන්නේ මතවාදී එකඟතාවයට වඩා පොදු සතුරෙකුට එරෙහි සන්ධාන බිහිවීමේ ප්රවණතාවයයි.
මේ නිසා ඉදිරි මැතිවරණ සමයේදී ජාතිකවාදී බලවේග, පැරණි ප්‍රධාන පක්ෂවල කොටස්, රාජ්‍ය ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් කණ්ඩායම්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කලකිරුණු පිරිස් සහ විවිධ බල ජාල එකම වේදිකාවක එක්වීමේ හැකියාව බැහැර කළ නොහැකිය.

සුරේෂ් සලේ වැනි චරිත වටා නිර්මාණය වන ජාතිකවාදී කතිකාවද කියවිය යුත්තේ මේ බල අරගලයේම කොටසක් ලෙසය. එහි වැදගත්කම පවතින්නේ පුද්ගලයා තුළ නොව, ඔහු නියෝජනය කරන සංකේතීය බලය තුළය. ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ, යුද්ධ ජයග්‍රහණ සහ ස්වෛරීභාවය වැනි තේමා තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලන මනෝභාවය තුළ ප්‍රබල බලයක් බව එයින් පැහැදිලි වේ.
වත්මන් ශ්‍රී ලංකා දේශපාලනයේ ගැඹුරුම ගැටලුවක් ලෙස සදාචාරය සහ බලය අතර පවතින ආතතිය හඳුනාගනිමු. සෑම ආණ්ඩුවක්ම සදාචාරාත්මක භාෂාවක් හරහා බලයට පැමිණෙයි. එහෙත් බලය හිමි වූ පසු ඔවුන් මුහුණ දෙන්නේ රාජ්‍යය පවත්වාගෙන යාම පිළිබඳව වන කටුක යථාර්ථයටය. එම යථාර්ථය තුළ සාර්ථක වන්නේ වඩා හොඳට තත්වය විග්‍රහකරන පාර්ශ්වය නොව, දේශපාලන බලය හමුවේ නීතිය අඩපණ නොකරන ආයතන ගොඩනගන, ආර්ථිකය ස්ථාවර කරන සහ රාජ්‍ය බලය ස්වයංව සීමා කරගැනීමට සමත් පාර්ශ්වයයි.
එබැවින් අද ජාජබ ආණ්ඩුව ඉදිරියේ තිබෙන සැබෑ පරීක්ෂණය වන්නේ “අපරාධ රාජ්‍යය” පිළිබඳ කතිකාව දිගටම පවත්වාගෙන යාම නොව, බලය කාගේ අතට ගියත් නීතියේ ආධිපත්‍යය නොවෙනස්ව පවතින, දේශපාලන මිතූරන්ට සහ විරුද්ධවාදීන්ට පවා එකම නීතියක් ක්‍රියාත්මක වන, සහ අනාගතයේ කිසිදු ආණ්ඩුවකට රාජ්‍යය බලය පෞද්ගලික බල මෙවලමක් බවට පත් කරගත නොහැකි ආයතනික රාමුවක් ගොඩනැගීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සැබෑ “පද්ධති වෙනස” ලෙස සැලකිය හැක්කේ එවැනි පරිවර්තනයක් පමණි.

( සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන් )
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
( උපුටා ගැනීම – ආචාර්ය අතුලසිරි සමරකෝන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 -06 – 15
