
පියවර 176ක ඓතිහාසික පනත සම්මතයි ; වසර 65කට පසු පෞද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට දොරටු විවෘත වෙයි :
වසර 64ක් පුරා අමෙරිකානු සම්බාධක සහ දැඩි තෙල් අවහිරය හේතුවෙන් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින කියුබාව, සිය සාම්ප්‍රදායික මධ්‍යගත සමාජවාදී රාමු බිඳදමමින් වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ඓතිහාසික පියවර 176කින් යුත් ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කියුබානු පාර්ලිමේන්තුවේදී (National Assembly) ඒකමතිකව අනුමත කැර ඇති බව අනාවරණය වෙයි.
1959 ෆිදෙල් කැස්ත්‍රෝ ප්රමුඛ නායකයන්ගේ මුලිකත්වයෙන් සිදු වු කියුබානු විප්ලවයෙන් පසු රාජ්‍ය ආයතන සතු වූ 80%ක ඒකාධිකාරියේ වෙනසක් මින් ඉදිරියට ඇති බව බව දේශපාලන විචාරකයන් පවසති.

මේ දක්වා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට පමණක් සීමා වී තිබූ කියුබානු පෞද්ගලික අංශයට, මින් ඉදිරියට සේවකයන් 100කට වඩා වැඩි මහා පරිමාණ සමාගම් පිහිටුවීමට සහ රාජ්‍ය අංශය සමඟ සෘජුව තරඟ කිරීමට සීමා විරහිත බලය හිමි වේ. මෙය චීනය සහ වියට්නාමය අනුගමනය කළ සාර්ථක “සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික” (Socialist Market Economy) මොඩලයට සමාන වේ.
පනතේ අන්තර්ගත ප්‍රධාන ප්‍රතිසංස්කරණ 4 ක්
1- විදේශ ප්රාග්ධනය සහ ස්වාධීනත්වය:
විදේශ ආයෝජකයින්ට මෙරට ව්‍යාපාර ඇරඹීමේදී රාජ්‍ය අංශය සමඟ අනිවාර්යයෙන්ම හවුල් විය යුතුය යන පැරණි කොන්දේසිය ඉවත් කැර ඇත. පුද්ගලයන්ට විදේශ මුදල් ගිණුම් පැවැත්වීමේ නිදහස ද හිමි වේ.
2- රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය:
ගමනාගමනය, තොග වෙළෙඳාම සහ සේවා වැනි ක්ෂේත්‍ර වාණිජ සමාගම් බවට පත් කැර, ඒවායේ කොටස් මිලදී ගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා ඇත. කියුබානුවන්ට ව්‍යාපාර එකකට වඩා හිමිකර ගැනීමට සහ අනෙකුත් සමාගම්වල කොටස් මිලදී ගැනීමට ද අවසර ලැබේ.
3- බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්රය:
ඛණිජ තෙල්, පුනර්ජනනීය බලශක්ති සහ සූර්ය පැනල වැනි ක්ෂේත්රවලට ඍජුවම ආයෝජනය කිරීමට විදේශ සමාගම්වලට අවස්ථාව ලැබෙන අතර, සූර්ය පැනල සඳහා බදු සහන ද හිමි වේ. කෘෂිකාර්මික ඉඩම් රජය සතුව පැවතුණ ද, වන වගාව, කෘෂි සංචාරක ව්‍යාපාරය සහ දුම්කොළ වගාවට පෞද්ගලික අංශයට ඉඩ ලබාදී ඇත.
4- රජයේ දේපොළ විකිණීම:
2011 සිට පුද්ගලික නිවාස අයිතිය හිමි වුවද සියලු දේපල රජයට අයත් විය. නමුත් නව පියවර යටතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා රජයේ දේපොළ සෘජුව මිලදී ගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාව ලැබේ.
ජනාධිපතිවරයා අමෙරිකාවට දුන් පණිවිඩය
පනත සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Díaz-Canel) අවධාරණය කෙළේ, නිලධාරිවාදය සහ මන්දගාමී බව අවසන් කරමින් චීන සහ වියට්නාම ක්‍රමවේදයට අනුව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරන බවයි.
අමෙරිකාවට සෘජු පණිවිඩයක් දෙමින් ඔහු කියා සිටියේ, “ඔබට සැබවින්ම කියුබානු ජනතාවට උදව් කිරීමට අවශ්‍ය නම්, අපට ජීවත් වීමට ඉඩ දෙන්න. ඖෂධ, ඉන්ධන ආනයනයට සහ ලෝකය සමඟ සාමාන්‍ය සබඳතා පැවැත්වීමට පනවා ඇති බාධා ඉවත් කරන්න” යනුවෙනි.
මුලාශ්‍රය :
නව ආර්ථික මොඩලයකට කියුබානු පාර්ලිමේන්තුවේ අවසරය !
(Source – The Leader)
