Impartial news reporting for a stronger democratic society
ඉබෝලා වෛරසය කොංගෝව වසා ගනී

ඉබෝලා වෛරසය යළිත් වරක් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැඟෙනහිර ප්‍රදේශය පුරා පැතිර යෑමේ අවදානමක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය  අනාවරණය කරයි.
ඒ අනුව පවතින ගැටුම්කාරී වාතාවරණය සහ වෛරසය පාලනය සඳහා වන එන්නත් හිඟය හේතුවෙන් වසංගතය පාලනය කිරීමේ කටයුතු දැඩි අභියෝගයකට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ .
ඉබෝලා වෛරසයේ ‘බුන්ඩිබුගියෝ’ ප්‍රභේදය කොංගෝවේ ඉටුරි, උතුරු කිවු සහ දකුණු කිවු පළාත්වලින් වාර්තා වී ඇති අතර, එය උගන්ඩාව දක්වා ද ව්‍යාප්ත වී ඇත.
රුවන්ඩාව, කෙන්යාව, ටැන්සානියාව, ඇන්ගෝලාව, බුරුන්ඩිය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ජනරජය, ඉතියෝපියාව, දකුණු සුඩානය සහ සැම්බියාව යන රටවල් 10 තුළ  ඉබෝලා වෛරසය පැතිර යෑමේ ඉහළ අවදානමකට ලක්ව ඇතැයි අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

මෙම රෝගය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අප්‍රිකානු සෞඛ්‍ය අංශ එක්ව හදිසි ප්‍රතිචාර සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, යුද ගැටුම් හේතුවෙන් වෛද්‍ය කණ්ඩායම්වලට අදාළ ප්‍රදේශවලට ප්‍රවේශ වීම සහ රෝගීන් හඳුනාගැනීම මේ වන විට දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.

ශරීර තරල මඟින් ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන මෙම මාරාන්තික රක්තපාත උණ රෝගය පිළිබඳව අසල්වැසි රටවල් දැඩි සෝදිසියෙන් සිටින අතර, දේශසීමා ආශ්‍රිතව සෞඛ්‍ය පරීක්ෂණ ද දැඩි කැර තිබේ. පසුගිය වසර 50 තුළ අප්‍රිකාවේ 15,000 කට වැඩි පිරිසක් ඉබෝලා වසංගතය හේතුවෙන් මිය ගොස් ඇති බව  අනාවරණය වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp