
බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින, අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල ලබා දී තිබේ .
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා (ජූනි 12) නිකුත් කළ නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇත.
නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් උන්වහන්සේව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ අතර, එහිදී අද (ජූනි 16) දින මෙම රුධිර සාම්පල ලබාගැනීම සිදු විය.
පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කැර තිබේ.
පොලිස් පරීක්ෂණ සහ ඇඳුම්වලින් හමුවූ DNA සාධක
නිට්ටඹුව පොලිසිය ජූනි 12 වැනි දින අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කෙළේ, වින්දිත දැරිය වළ දමා සඟවා තිබියදී සොයා ගත්, රුධිරය තැවරුණු බවට සැක කෙරෙන ඇඳුම් මීට පෙර රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි.
මැයි 4 වැනි දින යොමු කරන ලද එම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවලදී, එම ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇත.
එම ඇඳුම්වල තිබී හමු වූ DNA ඇලීල, සැකකාර හිමිනමගේ DNA සාම්පල සමඟ සැසඳෙන්නේ ද යන්න විද්‍යාත්මකව තහවුරු කැර ගැනීම සඳහා මෙම රුධිර සාම්පල ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පොලිසිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.
තනතුරුවලින් ඉවත් කිරීම සහ වත්මන් නීතිමය තත්ත්වය
මෙම බරපතළ අපයෝජන චෝදනාව කරළියට පැමිණීමත් සමඟ, පල්ලේගම හේමරතන හිමියන් දැරූ අනුරාධපුර අටමස්ථානාධිපති තනතුර සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය පසුගිය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී අත්හිටුවීමට කටයුතු කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කැර සිටි උන්වහන්සේ, පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන තිබුණි.
විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි පියවරක් ලෙස, මෙම DNA පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී නඩු විභාගය සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇතැයි නීති අංශ පෙන්වා දෙයි.
( Source- The Leader)
