ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පයින් ගසමින් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක බළකාය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ නොබැදී විදේශ ප්‍රතිපත්තිය විනාශ මුඛයකට ඇද දමා ඇතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී . වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති, එම නිවේදනයේ තව දුරටත් මෙසේ සදහාන් වේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව අත්සන් කළ මෙම මිල්ටරි ගිවිසුම දැඩි ලෙස අප හෙළා දකින බවත්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය අතර අත්සන් කළ මෙම ගිවිසුමෙන් ‘ඉන්දු-පැසිෆික්’ කලාපයේ ගොඩනැගෙන හමුදාකරණ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඝෘජු තර්ජනයක් ඇති විය හැකිය. එසේම ඉන්දියන් සාගරය සාම කලාපයක් කිරීමේ වැඩපිළිවෙළ මුළුමනින්ම දුර්වල වීමට මෙම ඊනියා ගිවිසුම තවත් පියවරක් බව කිවයුතුය.
අමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමග අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම පුළුල් පරාසයක හමුදා ක්‍රියාකාරකම් සඳහා සහයෝගීතාව විධිමත් කරයි. ඒ අනුව ඒකාබද්ධ පුහුණුව, සමුද්‍රීය නිරීක්ෂණ, ගුවන් මෙහෙයුම් සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර ආපදා – ප්‍රතිචාර ඒකාබද්ධ කරයි. එසේම ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද හමුදා ව්‍යුහයන් ඇතුළත් කිරීම සඳහා මෙම ගිවිසුම ඝෘජුව ලෙස යොදා ගත හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මතයයි.
මෙම අවබෝධතා ගිවිසුමට ආණ්ඩුව අත්සන් කැර ඇත්තේ, වෙනිසියුලාවට එරෙහිව වොෂින්ටනයේ විවෘත ආක්‍රමණ තර්ජන සහ ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට ඇතුළුව එක්සත් ජනපදයේ මිලිටරිවාදය ඉහළ ගොස් ඇති සන්දර්භයක් තුළයි. එපමණක් නොව, මෙය කලින් පැවති ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්ෂක අවබෝධතා ගිවිසුමෙන් පසුව, ජාතික ජන බලවේග ආණ්ඩුව අත්සන් කළ දෙවැනි හමුදා ගිවිසුම මෙය වන අතර, එහි අන්තර්ගතය මහජනතාවගෙන් සම්පූර්ණයෙන්ම සැඟවීට කටයුතු කැර තිබීමෙන් පෙනී යන්නේ අමෙරිකාව සමග දිර්ඝ කාලයක සිට පවතින රහසිගත ඊනියා සම්බන්ධයයි .
සෑම ශ්‍රී ලාංකිකයකුම අද ආණ්ඩුවෙන් ඇසිය යුතු තීරණාත්මක ප්‍රශ්න කිපයක් තිබේ.
- මෙම ගිවිසුම අත්සන් කිරීම තීරුබදු අඩු කිරීම සඳහා දේශපාලන කොන්දේසියක්ද?.
- මෙම අවබෝධතා ගිවිසුම එක්සත් ජනපදය සමඟ හමුදා තත්ත්ව ගිවිසුමක් (SOFA) අත්සන් කිරීමේ පූර්වගාමි පියවරක්ද?.
- ශ්‍රී ලංකාවේ හමුදා, නාවික සහ ගුවන් හමුදා යටිතල පහසුකම් මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්තොටුපළ ද එක්සත් ජනපද යුද යන්ත්‍රයේ අභිමතයන් සඳහා යොදා ගනු ඇතිද?.
- ශ්‍රී ලංකාව, ආසියාවේ එක්සත් ජනපද හමුදා ආක්රමණයේ ඉත්තෙකු වන්නේ ද?.
ශ්‍රී ලංකාව නොබැඳි, ස්වෛරී රටක් විය යුතු බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නැවත ප්‍රකාශ කරන අතර, තමන් එළඹ ඇති සියලුම හමුදා ගිවිසුම්වල අන්තර්ගතය වහාම හෙළි කරන ලෙසත්, විදේශීය බලවතුන් සමඟ පවත්නා ආරක්ෂක සහයෝගීතාව නතර කරන ලෙසත්, ජාතික ආරක්ෂක තීරණ ප්රජාතන්ත්රවාදී පරීක්ෂාවට ලක් කරන ලෙසත් අපි ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
තවද, රටේ නොබැඳි තත්ත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට එන ලෙස අපි සියලු අධිරාජ්‍ය විරෝධී සහ දේශප්‍රේමී බලවේගයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
2025 නොවැම්බර් 11 වැනි
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය
