
ජපානයේ නව අගමැතිනි ලෙස මෑතකදී තේරී පත් වූ සනායි ටකේචි, චීනය සම්බන්ධව මැති සබයේදී සිදු කළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් මතු වී ඇත.
එම ප්‍රකාශය සැලකිල්ලට ගත් මහඩන චීනය තම පුරවැසියන්ට ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඉදිරියේදී චීනය තායිවානයට එරෙහිව හමුදා බලය යෙදවීමක් සිදු වුවහොත් තායිවානයට සහාය පළ කරමින් හමුදා මැදිහත් වීමකට යෑමට ජපානයට සිදුවනු ඇතැයි පසුගියදා එරට මැතිසබයේදී ජපාන අගමැතිනියගේ ප්‍රකාශය එම රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එම ප්‍රකාශය මුල් කරමින් ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එරට චීන තානාපති අංශය පුරවැසියන්ට උපදෙස් දී ඇති අතර, ජපාන අගමැතිනියගේ ප්‍රකාශයෙන් එරට සිටින චීන ජාතිකයන්ගේ ආරක්ෂාවට ගැටලුවක් එල්ල වී ඇතැයි , චීන තානාපති අංශය එම නිවේදනයේ සඳහන් කැර ඇත. එම නිවේදනයත් සමඟ චීන ගුවන් සේවය, නැඟෙනහිර චින ගුවන් සේවය සහ දකුණු චීන ගුවන් සේවය සිය වෙබ් අඩවි ඔස්සේ දැනුම් දීමක් සිදු කරමින් ප්‍රකාශ කැර ඇත්තේ ජපානයට යෑම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගත් සියලු චින පාරිභෝගිකයන්ට නැවත මුදල් ලබාදීමට පියවර ගන්නා බවයි.
ජපාන අගමැතිනියගේ ප්‍රකාශය මුල් කරමින් චීනයේ සිටින ජපාන තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කැර ඇත. ජපානය, තායිවාන සමුද්‍ර සන්ධියේ හමුදාමය වශයෙන් මැදිහත්විමක් සිදු කිරීමට පියවර ගන්නේ නම් එය දරුණු පරාජයකට ලක්වීමට හේතුවනු ඇතැයි චීන ආරක්ෂක අමාත්‍යාංශය ද ජපානයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.
