අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා ( 14) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අත්සන් තැබුහ.

අමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු Julie Chung මැතිනිය සහ මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකායේ විධායක ජෙනරාල් ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ජෙනරල් Trenton Gibson අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් අමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරයි.
එහිදී, සභාව ඇමතු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) මෙසේ ප්‍රකාශ කෙළේය.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. එමෙන්ම, මෙම මුලපිරීම තුළින් අපගේ අන්‍යොන්‍ය කැපවීම, හවුල් උපායමාර්ගික අවශ්‍යතා මෙන්ම, ධාරිතා වර්ධනය, ඒකාබද්ධ පුහුණුව, මානුෂීය සහය, ආපදා ප්‍රතිචාරය, සයිබර් ආරක්‍ෂාව, සාමය පවත්වා ගැනීම, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර (CBRN) සුදානම මෙන්ම නායකත්ව
සංවර්ධනය සඳහා නව ප්‍රවේශයන් විවෘත කිරීම පිළිබිඹු කරනවා. අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ මිත්‍රත්වය, සහයෝගීතාවය සහ ත්‍යාගශීලීභාවය ගැඹුරින් අගය කරනවා. ශ්‍රී ලංකාව මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කරනවා.
ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung මැතිනිය මෙසේ ද පැවසුවාය.
අමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සහයෝගීතාව ඉතා වැදගත්කමක් ගන්නවා. දෙරට අතර ශක්තිමත් හා දිගුකාලින මිත්‍රත්වය ඉස්මතු කරමින් අඛණ්ඩ ආරක්‍ෂක සහයෝගීතාවයේ සහ අන්‍යොන්‍ය අවබෝධය වැදගත් වෙනවා. දෙරටේ පොදු අභිලාෂයන් මත ගොඩනැඟුණු දිගුකාලීන හවුල්කාරිත්වය පිළිගත යුතු වෙනවා. මෙම නව්‍යකරණය වූ කැපවීම් මඟින් සම්බන්ධ පුහුණු සහ ඉගෙනුම් අවස්ථා රාශියකට ඉඩ කඩ සැලසෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම සමඟින්, අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ එරට ජාතික ආරක්‍ෂක බලකායන් සමඟ පාර්ශ්වකරුවන් ලෙස ක්‍රියා කරන විවිධ ජාතීන් 115 කින් සමන්විත ගෝලීය ජාලයට ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකු ලෙස එක් වෙනවා. මෙම අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල පළමු අදියර එළඹෙන 2026 වර්ෂයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව හදිසි ආපදා ප්‍රතිචාර, සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කරනු ඇති. තවද, ඒකාබද්ධ පුහුණු වැඩසටහන්, නීති විරෝධී ජාවාරම් සහ සංක්‍රමණ මැඩලීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව, ඇතිවිය හැකි අර්බුද තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම හා මානුෂීය ආධාර, ගුවන් මෙහෙයුම්, මෙන්ම ශක්තිමත් හමුදා සිවිල් සහසම්බන්ධතාවයක් තුළින් ආපදා පෙර සූදානම ආදී ක්‍රියාකාරකම් හරහා අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා ඇති.
මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ ද හුවමාරුවක් ද සිදු කෙරින.යුධ හා නාවික හමුදාපතිවරු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන්, මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකා නියෝජිතයින් මෙන්ම ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
