
ඉන්දියාවේ සහ පාකිස්තානයේ අගනුවර කේන්ද්‍ර කරමින් පිපිරී ගිය මාරාන්තික බෝම්බ දෙකකින් පසුව දකුණු ආසියාවේ ත්‍රස්තවාදය සම්බන්ධව යළි ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. බෝම්බ පිපිරී ගියේ දකුණු ආසියාවේ ප්‍රබලම රටවල් දෙකක දැඩි ආරක්ෂිත රැකවල් යටතේ පවතින අගනුවර දෙකක අතිශය ජනාකීර්ණ ස්ථාන කේන්ද්‍ර කරමිනි. එබැවින් එය දෙරටේහිම ආරක්ෂාව සම්බන්ධව දුර්වලතා මතු කළ සිදුවීම් පෙළක් ද වේ. ඉන්දියාව සහ පාකිස්තානය කේන්ද්‍ර කරමින් ත්‍රස්ත ප්‍රහාර සිදු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දෙරටේම බුද්ධි අංශ සිය රටවල අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධව ගනු ලැබූ පියවර සහ ක්‍රියාමාර්ග ද බරපතළ ලෙස අභියෝගයකට ලක් වී තිබේ. දකුණු ආසියාවේ භූ දේශපාලනික වශයෙන් සම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දියාව සහ පාකිස්තානය සුපුරුදු පරිදි බෝම්බ ප්‍රහාරවලින් පසු එකිනෙකා වෙත චෝදනා එල්ල කළද, එය දෙරටේම ආරක්ෂක අංශවල පවතින දුර්වලතා යටපත් කිරීමට නොහැකි කාරණාවකි.
නවදිල්ලි බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් පාකිස්තානයට චෝදනා එල්ල නොකළද, පාකිස්තාන රජය එවැනි චෝදනාවක් බලාපොරොත්තුවෙන් සිටියේය. ප්‍රහාරය සම්බන්ධව අද හෙටම ඉන්දියාව වෙතින් පාකිස්තානයට චෝදනා එල්ල විය හැකි බවත්, එසේ වීම පුදුමයට කරුණක් නොවන බවත් නවදිල්ලි ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ආරක්ෂක ඇමැති කවාජා අසීෆ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය සම්බන්ධව එරට රජය ඉන්දියාවට චෝදනා එල්ල කරනු ලැබුවේ එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමටත් පෙරය. කෙසේ වුවත් මේ සිදුවීම් ද්විත්වයටම වගකිව යුතු පාර්ශ්ව කවරේදැයි හෙළි වනු ඇත්තේ දෙරටේම ආරක්ෂක අංශ සිදු කරනු ලබන විමර්ශන කටයුතුවලින් පසුවය.
පැහැල්ගාම්
ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති ජම්මු කාශ්මිර් ප්‍රාන්තයේ පැහැල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් පිරිසක් ඉලක්ක කරමින් පසුගිය අප්‍රේල් මස සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ මර්මස්ථාන රැසක ආරක්ෂාව තර කර තිබිණි. නවදිල්ලි අගනුවර කාර් බෝම්බය පිපිරී ගියේ ඉන්දීය බුද්ධි අංශ විසිහතර පැය පුරාම උකුසු ඇස යොමු කරමින් සිටින අවස්ථාවකදීය. අනිත් අතට පාකිස්තානයේ බලුකිස්තානය සහ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තවල ද කාලයක සිට ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවන අතර, පාකිස්තාන හමුදාව ඉලක්ක කරමින් එම ප්‍රාන්තවල සිදුවන ප්‍රහාර මෑත කාලයේදි ඉහළ ගොස් තිබිණි. ඒ අතරතුර පාකිස්තානයේ අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාකිස්තාන තලේබාන් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ද ඉහළ ගොස් තිබිණි. පසුගිය මාසයේදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර දේශසීමා යුද ගැටුම් පැතිරීමටද එම ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතු විය. එවැනි තත්ත්වයක් තුළ රටේ වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව තර කිරීමට පාකිස්තානය පියවර ගෙන තිබූ අතර, ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ පරිශ්‍රයක් ඉලක්ක කරමින් කාර් බෝම්බය පිපිරී ගියේ එවැනි අවස්ථාවකදීය.
කෙසේ වෙතත් නවදිල්ලි කාර් බෝම්බය වළක්වා ගැනීමට තිබූ අවස්ථාව ආරක්ෂක අංශ වෙතින් අවසන් මොහොතේ මඟහැරී ගිය බවට ද තොරතුරු පළ වී තිබේ. ඊට හේතු වන්නේ ඊට ආසන්නතම දින වකවානුව තුළ සිදුවූ සිදුවීම් කිහිපයකි. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන පාකිස්තාන සම්භවයක් සහිත ජයිෂි මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ පසුගිය ඔක්තෝබරයේ මැද භාගයේදී කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අලවා තිබූ පෝස්ටර් කිහිපයක් පොලීසිය විසින් සොයා ගනු ලැබීම ඉන් පළමුවැන්න විය. රට පුරා මහ පරිමාණයේ ප්‍රහාර සිදු කරන බවට එම පෝස්ටර්වලින් අනතුරු අඟවා තිබූ බව ද වාර්තා විය.
2019 වසර දක්වා බහුලව සිදු වූ හමුදාව ඉලක්ක කරගත් එවැනි තර්ජන මෑත කාලයේ දී ඉතා විරල වූ බැවින් ශ්‍රීනගර් පොලීසිය විසින් සීසීටීවී දර්ශන ඇසුරින් එම පෝස්ටර් ඇලවූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබූ අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත ඉර්ෆාන් අහමඩ් නමැති මවුලවිවරයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මවුලවිවරයාගෙන් සති දෙකක් පුරා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ජයිෂි මොහොමඩ් සංවිධානය සැලසුම් කළ ප්‍රහාර රැසක් ගැන තොරතුරු හෙළි වී තිබිණි. ඒවා ජම්මු කාශ්මිරය, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත කේන්ද්‍ර කරමින් සිදු කිරිමට සැලසුම් කර තිබූ බවට ද තොරතුරු අනාවරණය වී තිබිණි.
හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නගරයේදි පුපුරන ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයා ගනු ලැබුවේ එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි. ෆරීඩාබාද් නගරයේ අල් ෆලා විශ්වවිද්‍යාලයේ පිහිටි ඇඳන් 700කින් සමන්විත කුඩා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ මුසම්මිල් ගානී නමැති කාශ්මීරයේ පුල්වාම් ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට පත්විය. එම විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර් 45ක දුරකිනි. එබැවින් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත යුතුව තිබිණි. අල් ෆලා විශ්වවිද්‍යාලයට අනුයුක්තව සිටි තවත් වෛද්‍යවරු පිරිසක් අත්අඩංගුවට පත් වූයේ පසුවය. ඒ අනුව සොයාගත් කරුණුවලින් හෙළි වී ඇත්තේ නවදිල්ලි නුවර කාර් බෝම්බය සැලසුම් කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිල්ලක පිහිටි කාමරයකදී බවය.
අනාරක්ෂිත තත්ත්වය
ඉස්ලාමාබාද් අගනුවර කාර් බෝම්බය පිපිරී ගියේ පැය 24ක් ගතවීමටත් පෙරය. අගනුවර ශ්‍රීනගර් අධිවේගී මාර්ගය අසල පිහිටි දිස්ත්‍රික් අධිකරණ සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අබියසදී පිපිරී ගිය බෝම්බය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති මොහ්සින් නක්වි කීවේය. අධිකරණ සංකීර්ණය අසල නවත්වා තිබූ පොලිස් මෝටර් රථයක් ඉලක්ක කරමින් බෝම්බය පිපිරී ගොස් තිබිණි. ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ටෙහෙරීකි තලේබාන් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතරතුරදීය.
බෝම්බ ප්‍රහාර ද්විත්වයම දකුණු ආසියාවේ යුද ශක්තිය අතින් ප්රබලතම රටවල් දෙකක අභ්‍යන්තරයේ අනාරක්ෂිත තත්ත්වය පෙන්නුම් කරන සිදුවීමක් බවට පත් වී තිබේ. එය දකුණු ආසියාවට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණ සහ සවිස්තරාත්මක තොරතුරු රැසක් ද මේ වන විට බටහිර මාධ්‍යවල පළ වෙමින් තිබේ.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ දශකයකට වැඩි කාලයකට පසු දෙරටේම අගනුවර කේන්ද්‍ර කරමින් සිදුවූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාර දකුණු ආසියාවේ ආරක්ෂාව සම්බන්ධව විශාල ගැටලුවක් මතු කර ඇති බවය. එම ප්‍රහාර ද්විත්වය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති වුවද, එහි බලපෑම් සහ සිදු වූ ආකාරය එක හා සමාන බවටද එහි සඳහන් වී තිබේ. විශේෂයෙන් න්‍යෂ්ටික අවි අතින් සන්නද්ධ ආසියාවේ ප්‍රධානතම රටවල් දෙකක අභ්‍යන්තරයේ ප්රචණ්ඩත්වය වර්ධනය වීම දකුණු ආසියාවේ සෙසු රටවලට අහිතකර බලපෑම් සිදුවනු ඇතැයි ද, දෙරට අතරට මැදි වූ ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය අත්කර ගැනීමෙන් පසු කලාපයේ අස්ථාවරත්වය ඉහළ ගොස් ඇතැයි ද නිව්යොර්ක් ටයිම්ස් පුවත් සේවය තවත් අදහසක් මතු කර තිබේ.
ආර්ථික ප්රවණතා
දකුණු ආසියාවේ ත්‍රස්තවාදය අද ඊයේ මතුවූවක් නොව එය වසර ගණනාවක සිට ජාත්‍යන්තරයේ අවධානයට සහ කතාබහට ලක්වූ කරුණකි. වසර 2009 දී සිංගප්පූරුවේ යූසුෆ් ඉෂාක් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පර්යේෂණ කෘතියක මේ පිළිබඳ විශ්ලේෂණාත්මක තොරතුරු රැසක් පළ කර තිබිණි. සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින එම ආයතනයේ කාර්යභාරය වන්නේ ආසියාවේ සමාජ, දේශපාලනික, ආරක්ෂක සහ ආර්ථික ප්රවණතා සහ වර්ධනයන් සම්බන්ධව අධ්‍යයනය කිරීමය. එම කෘතිය සංස්කරණය කරනු ලැබුවේ ආසියානු කලාපයේ උපායමාර්ගික සහ දේශපාලන අධ්‍යයන වැඩසටහන් සම්බන්ධව එම ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වන ඩල්ජිට් සිං විසිනි. හෙතෙම දශක ගණනාවක් පුරා දකුණු ආසියාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධව විශ්ලේෂණ සිදු කරන විද්වතෙකි.
පිටු 231කින් සමන්විත එම පර්යේෂණ කෘතිය නම් කර ඇත්තේ ‘ඉදිරි දශකය තුළ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ත්‍රස්තවාදය‘ (Terrorism in South and Southeast Asia in the Coming Decade) යනුවෙනි. වර්තමානය වන විට ආසියාතික කලාපය අත්දකිමින් සිටින්නේ එම පර්යේෂණ කෘතිය මඟින් හෙළිදරවු කරනු ලැබූ අතිශය වැදගත් සාධක ගොන්නකි. එය එක් අතකින් ආසියාතික කලාපයේ අනාගතය සම්බන්ධව සිදු කළ පුරෝකතනයක් ලෙස ද සැලකිය හැකිය.
එහි සඳහන් කර ඇත්තේ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව ජාත්‍යන්තර ජිහාඩ් ත්රස්තවාදයේ වසංගතයෙන් පීඩාවට පත්වී තිබෙන බවය. දරිද්‍රතාව සහ දුර්වල පාලන තන්ත්ර පිළිබඳ සැලකිය යුතු ගැටලු කිහිපයක් ද ජිහාඩ් ත්රස්තවාදයේ ව්‍යාප්තියට හේතු වී ඇතැයි එහි සඳහන් කර ඇත්තේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ඉලක්ක කරමින් බව පෙනේ. අල් කයිඩා ඇතුළු අනෙකුත් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානවලට එවැනි රටවලින් ලබාදෙන රැකවරණය වර්ධනය වී ඇතැයි ද එම පර්යේෂණ කෘතියෙහි වැඩිදුරටත් සඳහන් වේ. ඉන් පැහැදිලි වන්නේ දැඩි නීතිමය පාලන තන්ත්රයක්, කාර්යක්ෂම හා විශ්වසනීය ආකාරයෙන් විනිවිද පෙනෙන අධිකරණ පද්ධතියක් මෙන්ම ත්‍රස්ත විරෝධි මෙහෙයුම් සඳහා මනා පුහුණුව ලැබූ විශේෂ පොලිස් ඒකකයක් මෙවැනි රටවලට ජිහාඩ් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අතිශය වැදගත් වනු ඇති බවය. බුද්ධි අංශයට ද මෙහිදී සැලකිය යුතු වගකීමක් පැවරෙන බව එහි සඳහන් වේ. කලාපයේ මුස්ලිම් ප්‍රජාව විසින්ම මේ අන්තවාදි දෘෂ්ටිවාදයට එරෙහිව සටන් කළ යුතු බව එම පර්යේෂණ කෘතිය මඟින් අවධාරණය කර තිබේ. පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව කේන්ද්‍ර කරමින් සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීමේදී එම පර්යේෂණ කෘතියට පදනම් වී ඇති කරුණු සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.
ෆවුස් මොහොමඩ් දිනමිණ පුවත් පතට ලියන ලද ලිපියක් ඇසුරෙන්
