Impartial news reporting for a stronger democratic society
වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක අධිභාර බද්දක් !

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත  50%ක අධිභාරයක් (Surcharge) අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කැර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම 50% අධිභාරය පසුගිය අප්‍රේල් මස 01 වනදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර කෙසේවෙතත් එය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
බද්ද අදාළ වන සහ නොවන ක්‍රමවේද
අදාළ වන වාහන:
පුද්ගල ප්‍රවාහන මෝටර් රථ, ජීප් රථ, වෑන් රථ, බස් රථ, භාණ්ඩ ප්‍රවාහන වාහන, ගිලන් රථ, මෝටර් නිවාස (Motorhomes) මෙන්ම හයිබ්‍රිඩ් (Hybrid) සහ පූර්ණ විදුලි (Electric) වාහන සඳහා ද මෙම අධිභාරය පොදුවේ අදාළ වේ.
නිදහස් කිරීම්:
2026 මැයි 15 හෝ ඊට පෙර බැංකු හරහා වලංගු ලෙස ණයවර ලිපි (Letters of Credit – LCs) විවෘත කර ඇති වාහන ආනයනයන් සඳහා මෙම නව 50%ක අධිභාර බද්ද බලනොපානු ඇත.

මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ ඇති වී තිබෙන ගෝලීය තත්ත්වයන් සහ විදේශ විනිමය රුපියල මත එල්ල වී ඇති පීඩනය කළමනාකරණය කරගැනීම සඳහා, වාහන ආනයනය කිරීම තවදුරටත් සීමා කරමින් විදේශ විනිමය සංචිත රැකගැනීම මෙහි මූලික අරමුණ බව පැවසේ.

බදු ගණනය වන ආකාරය
මෙම 50%ක බද්ද පැනවෙන්නේ වාහනයේ සම්පූර්ණ වටිනාකම මත නොව, ශ්‍රී ලංකා රේගුව මඟින් දැනට අය කරනු ලබන මූලික රේගු ආනයන බදු මුදල (Customs Import Duty) මතයි.
උදාහරණයක් ලෙස, මෝටර් රථයක් සඳහා පවතින රේගු ආනයන බද්ද 30%ක් නම්, මෙම නව තීරණයත් සමඟ එම බදු මුදල මත තවත් 50%ක අතිරේක බද්දක් (එනම් තවත් 15%ක බද්දක් එකතු වී මුළු රේගු බද්ද 45%ක් දක්වා) ඉහළ යනු ඇත.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහනවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් පවසති.

එම ගැසට් නිවේදනය මෙතනින්

Follow by Email
LinkedIn
Share
WhatsApp