
මාස තුනක කාලයක් තිස්සේ මාධ්‍යවේදීන්ට මාසික වැටුප් නොගෙවීම, අසාධාරණ ලෙස වැටුප්වලින් කොටසක් කප්පාදු කැර ගැනීම සහ EPF හා ETF ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ‘මව්බිම’ කර්තෘ මාණ්ඩලිකයන් 17 දෙනෙකු කම්කරු කොමසාරිස්වරයාට කළ පැමිණිල්ලකින් අනතුරුව එම මාධ්‍යවේදීන් ගේ හිග වැටුප් ගෙවීම් සිදුකිරීමට සිලෝන් නිව්ස් පේපර්ස් ලිමිටඩ් හි සභාපති, හිටපු ඇමැති ටිරාන් අලස්ට සිදුවී තිබේ.
අදාළ පැමිණිල්ලට අත්සන් කළ මාධ්‍යවේදීන් ඊට අත්සන් තබා ඇත්තේ වැරදීමකින් හෝ අනවබෝධයකින් යැයි ප්‍රකාශ කරමින් එම අත්සන් ඉල්ලා අස්කර ගැනීමට ‘මව්බිම’ කළමනාකාරිත්වයෙන් බල කෙරී ඇතත් පැමිණිල්ලට අත්සන් තැබූ මාධ්‍යවේදීන් අතරින් ඊට එකග වී ඇත්තේ කිහිප දෙනෙකු පමණි.
පැමිණිලිකරුවන් අතරින් 10 දෙනෙකුම සිය අත්සන් කිසිසේත්ම ඉල්ලා අස්කර ගැනීමට අකමැත්ත පළ කිරීම නිසා ටිරාන් අලස්ට දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබේ.
ඒ අනුව අප්‍රේල් 9 වැනි දින කම්කරු දෙපාර්තමේන්තුවේදී සහකාර කම්කරු කොමසාරිස් බියංකා යහලවෙල මහත්මිය ඉදිරියේ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුව ඊයේ(09) දිනය තුළදීම මාධ්‍යවේදීන්ගේ හිඟ වැටුප් ගෙවා නිම කරන ලෙස කළමනාකාරිත්වයට දැනුම් දී තිබේ.එහෙත් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කළ පිරිස පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා තෙක් වැටුප් නොගෙවිය යුතු බවට ‘මව්බිම’ ඉහළ කළමනාකාරිත්වය දැඩි ස්ථාවරයක පසුවීම නිසා ඊයේ දිනය තුළ වැටුප් හිමිවී ඇත්තේ සිය අත්සන ඉල්ලා අස්කරගත් මාධ්‍යවේදීන් පිරිසට පමණි.අනතුරුව පැමිණිලිකරුවන් නැවත සහකාර කම්කරු කොමසාරිස්වරිය හමුවී සිය හාම්පුතා කම්කරු කොමසාරිස්වරයාගේ නියෝග පිළිපැදීමට සූදානම් නැති බව දැනුම් දී ඇති අතර, එම හමුවීමෙන් කෙටි වේලාවක් තුළ
ඔවුන්ගේ ගිණුම් වලටද ජනවාරි සහ පෙබරවාරි දෙමසට අදාළ වැටුප් ලැබී තිබේ.අත්සන් ඉල්ලා අස්කරගත් පිරිසද ඇතුළුව කිසිවෙකුට මේ දක්වා මාර්තු මාසයට අදාළ වැටුප් හිමිවී නැතැයි පැමිණිලිකරුවෝ පවසති.
කම්කරු කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් තමන්ගේ EPF හා ETF අය කැරගැනීම් සහ අයුක්තිසහගත ලෙස වැටුපෙන් අඩුකරගෙන ඇති මුදල් ආපසු හිමිවනු ඇතැයි ‘මව්බිම’ මාධ්‍යවේදීහු අපේක්ෂා සහගතව සිටිති.
සාමාජික මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම මත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකුද සහකාර කම්කරු කොමසාරිස්වරිය සමඟ පැවති විමර්ශන කාර්යය සඳහා සහභාගී වූහ.
උපුටා ගැනීම –
මාධ්‍යවේදී ආනන්ද ධර්මප්‍රිය ජයසේකර ගේ Facebook පිටුවෙන්
