Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී මොහොමඩ් විෂා ජීවිතක්ෂයට!

අල් ජසීරා මුබාෂර් (Al Jazeera Mubasher) සේවයේ ගාසා වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මොහොමඩ් විෂා ඊයේ (08) ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-රෂීඩ් වෙරළබඩ පාරේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත.
මෙම ගුවන් ප්‍රහාරයත් සමඟ ඔහු ගමන් කළ මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇති බව අල් ජසීරා පුවත් සේවය සඳහාන් කරයි.
2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සිටම ඊශ්‍රායලය දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉලක්ක කැර ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, එතැන් සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් අවම වශයෙන් 262 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ. 

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා මාධ්‍ය ජාලය සඳහන් කෙළේ, “අල් ජසීරා මුබාෂර් වාර්තාකරු මොහොමඩ් විෂා ඉලක්ක කැර ඝාතනය කිරීමේ මෙම සාපරාධී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින” බවයි.
“මෙය සියලු ජාත්‍යන්තර නීති සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් මෙන්ම, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම සහ සත්‍යයේ හඬ නිහඬ කිරීම සඳහා ක්‍රමානුකූලව ගෙන යන ප්‍රතිපත්තියක් පිළිඹිබු කරන්නක්” බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

2018 වසරේදී ආයතනය හා සම්බන්ධ වූ , මොහොමඩ් විෂාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරන අල් ජසීරා ආයතනය අවධාරණය කළේ, මෙය අහඹු සිදුවීමක් නොව මාධ්‍යවේදීන් බිය වැද්දීම සහ ඔවුන්ගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීම වැළැක්වීම සඳහා හිතාමතාම සිදු කළ අපරාධයක් බවයි.

ගාසා නගරයේ සිට වාර්තා කරන අල් ජසීරා හි ඊබ්‍රාහිම් අල්-ඛලීලි පවසන්නේ, ගාසා නගරයේ ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් සිටියදී විෂා ඝාතනයට ලක්වීමෙන් පෙනී යන්නේ ඊශ්‍රායල හමුදාවේ අඛණ්ඩ ‘සටන් විරාම’ උල්ලංඝනය කිරීම් හමුවේ තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බවයි.

මුලාශ්‍ර :

‘Heinous crime’: Al Jazeera condemns Israeli killing of journalist

Al Jazeera journalist killed by Israeli drone strike in Gaza

Follow by Email
LinkedIn
Share
WhatsApp