
පළාත් සභා මැතිවරණය නිසි ලෙස නොපවත්වා , ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් විනාශ කොට නිලධාරිවාදී පාලනයක් ගෙන යෑමට අනුර කුමාරගේ වත්මන් ආණ්ඩුව දැන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සහ සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සදහාන් වෙයි.
2018 ආණ්ඩුව පත් කරන ලද නිලධාරීන් පළාත් සභා නවයම පවත්වාගෙන යන බවත්, ජනතා නියෝජිතයින් හරහා සහතික කරන ලද මහජන වගවීම නිලධාරීන්ට පැවරීමට ආණ්ඩුව කටයුතු කරන බව එම නිවේදනයේ සදහාන් වෙයි. පළාත් සභා ඡන්දය දිගු කාලීනව ප්‍රමාද වීම නිසා අකාර්යක්ෂමතාව වැඩි වී පළාත් සභා නායකත්වයෙන් යුත් සේවාවන් බිද වැටි සමාජ නොසන්සුන්තාවයන් ඇති වෙමින් පවතී.
අසම්පූර්ණ සීමා නිර්ණය හේතුව ලෙස දක්වමින්, දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණ තවදුරටත් ප්‍රමාද කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බව පෙනී යයි. 2017 සිට අනුප්‍රාප්තික ආණ්ඩු විසින් මැතිවරණ කල් දැමීමට ඉහත සඳහන් හේතුව භාවිතා කැර ඇති බව එම නිවේදනයේ සදහාන් වෙයි.
මෙයට පෙර එවැනි ප්‍රමාදයන්ට විරුද්ධ වූ වත්මන් ආණ්ඩුව, දැන් එම උපක්‍රමයම භාවිතා කරමින් කටයුතු කරන විට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් සඳහා එහි කැපවීම පිළිබඳව සැක මතුවීම වැලැක්විය නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. නීත්‍යානුකූලව, සීමා නීර්නය අවසන් කිරීම සඳහා නව කමිටුවක් පිහිටුවීම හෝ පැරණි මැතිවරණ ක්‍රමය භාවිතා කිරීම සඳහා සරල පාර්ලිමේන්තු බහුතරයකින් අවශ්‍ය නීති සම්මත කිරීම වැනි පවතින තත්ත්වය විසඳීමට ආණ්ඩුවට ගතහැකි විකල්ප තිබේ. මෙම මාර්ග අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් පෙනී යන්නේ මැතිවරණ පැවැත්වීමට දේශපාලන කැමැත්තක් ආණ්ඩුවට නොමැති බවයි.
සමාජවාදී ජනතා පෙරමුණ (ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළත්) පළාත් සභා හරහා බලය බෙදා හැරීමට සැමවිටම සහාය දක්වා ඇත. මැතිවරණ පැවැත්වීම සඳහා දිනයක් ඇතුළුව ඉලක්ක ගත දිනයන් දක්වන මාර්ග සිතියමක් මහජනතාවට ලබා දෙමින්, මැතිවරණය පැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවට , සමාජවාදී ජනතා පෙරමුණ බලකර සිටි. තවද, ප්‍රමාදයකින් තොරව පළාත් සභා සඳහා මැතිවරණය ඉල්ලා සිටීමට සියලු දේශපාලන පක්ෂවලට එක්වන ලෙස ද සමාජවාදී ජනතා පෙරමුණ එම නිවේදනයෙන් ඉල්ලා සිටී.
