
ඉරාන නියෝජිතයන් සමඟ පැවති දුරකතන සාකච්ඡාවකින් පසු දින 5කට යුද්ධය නතර කළ බව පසුගිය 23 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කෙළේ ලොවම විමතියට පත් කරමිනි. ඉන් නොනැවතී ඔහු ඉරාන නියෝජිතයන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වෙන බවටත් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා ලෝක ප්‍රජාව අතර සාමය උදෙසා බලාපොරොත්තු රැසක් ද පළ විය. එවැනි සාකච්ඡාවක් සිදුවූ බව ඔහු ප්‍රකාශ කරන තුරු ලොවම එවැනි සාකච්ඡාවක් ගැන දැන නොසිටි බැවින් එම ප්‍රකාශය එදින ජාත්‍යන්තරයේ වැඩිම අවධානයට ලක්වූ එකකි. එහෙත් මැදපෙරදිග සාමයේ බලාපොරොත්තු තවදුරටත් ඈතට තල්ලු වී ගියේ හැරෙන තැපෑලෙන් ඉරානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.
කිසිදු ආකාරයේ සාකච්ඡාවක් හෝ එකඟතාවක් ඇති කැර නොගත් බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව පුන පුනා කියද්දී සාකච්ඡා සාර්ථක බවටත්, යුද්ධයෙන් අමෙරිකාව ජයගත් බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ප්‍රකාශ නිකුත් කරමින් සිටි. අමෙරිකාව සහ ඉරානය අතර උද්ගත වූ මේ වාග් සංග්‍රාමය නිසා ලොවම මුහුණ පා ඇත්තේ උභතෝකෝටික ගැටලුවකට ය.

පරස්පර විරෝධී ප්‍රකාශ
යුද අර්බුදයට අදට (27) හරියටම මාසයකි. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේ 28 වැනිදා උදෑසනය. ගත වූ මාසය පුරා ආසියාව සහ යුරෝපා කලාපය දරුණු බලශක්ති අර්බුදයකට ගොදුරු වී ඇති අතර, එම කලාපවල ආර්ථිකයට ද බලපෑම් ඇති කැර තිබේ. එබැවින් ට්‍රම්ප් කියන ආකාරයෙන් අමෙරිකාව සහ ඉරානය අතර එවැනි එකඟතාවක් පළ වූයේ නම් ඉන් ආසියාවට හා යුරෝපයට මෙන්ම පොදුවේ ලෝක ප්‍රජාවටම මහත් අස්වැසිල්ලකි.
එහෙත් ට්‍රම්ප්ගේ ප්‍රකාශ හැරුණු විට ඊයේ වන විටත් එවැනි එකඟතාවක් හෝ සාකච්ඡාවක් පිළිබඳ නිල වශයෙන් තහවුරු කළ හැකි කිසිදු හෝඩුවාවක් ද නැත. තවමත් යුද ගැටුම් සිදුවෙමින් පවතින අතර, මැදපෙරදිග රටවලට සහ ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වන ප්‍රහාර එලෙසින්ම සිදුවෙමින් පවතී. ඊශ්‍රායලය ද දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටි. අනුමාන කිරීම් හැර යුද්ධය අවසන් වීමේ නිශ්චිත දිනයක් පෙනෙන්නටවත් නැත. ට්‍රම්ප්ගේ සහ ඉරාන හමුදාවේ ප්‍රකාශ මැද ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් සහ ගෑස් මිල තවදුරටත් ඉහළ පහළ යමින් පවතී. ඒ අතර බලශක්ති හිඟයෙන් පීඩාවට පත්ව සිටින ආසියාතික රටවල් රැසක දිනෙන් දින අර්බුද පිට අර්බුද නිර්මාණය වීමේ කෙළවරක් ද නැත.
දින 3කින් ඉරාන යුද්ධය අවසන් කරන බව කියමින් ප්‍රහාර ආරම්භ කළ ද , අදටත් ඊට නිසි විසඳුමක් ලබා ගැනීමට නොහැකිව ඔහු ගැටලු රැසකට මැදිවී සිටින බව ද පෙනේ. ඔහු මොහොතින් මොහොත පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ ගත යුතු හොඳම විසඳුම කවරේදැයි තවමත් නිශ්චිත අදහසක් නොමැතිවීම හේතුවෙන් බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. ඉන් පැහැදිලි වන්නේ ඉරානය සම්බන්ධව ඔහුගේ කියැවීමේ දුර්වලතාව බව ද සඳහන් වේ.
අනිත් අතට අමෙරිකාව සමඟ එක්ව යුද්ධය ආරම්භ කළ ඊශ්‍රායලයෙන් ට්‍රම්ප්ගේ උත්සාහයට කිසිදු සහයක් ලැබෙන ආකාරයක් ද පෙනෙන්නට නැත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කැර ඇත්තේ සාම යෝජනාවලිය සහ සාකච්ඡා පැවැත්වීම අමෙරිකාවේ තීරණය මත සිදුවන බවය. ඒ සඳහා ඊශ්‍රායලයේ ඍජු මැදිහත්වීමක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඉරානය අවතක්සේරු කිරීම

ඒ අතින් බැලූ විට ඩොනල්ඩ් ට්‍රම්ප් ද උභතෝකෝටික ගැටලුවකට මැදිවී ඇති බව පෙනේ. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඉරානයට පැය 48ක කාලසීමාවක් ලබා දුන් අමෙරිකානු ජනාධිපතිවරයා එම කාලසීමාව සම්පූර්ණ වීමට පැය 12ක්ම ඉතිරිව තිබියදී දින 5කට යුද්ධය අත්හිටුවූ බව ප්‍රකාශ කෙළේය. එම කාලසීමාව අදින් (27) නිමාවට පත්වීමට නියමිතව තිබියදී ඔහු පෙරේදා ඉරානයට කොන්දේසි සහිත සාම යෝජනාවලියක් ඉදිරිපත් කෙළේය. එම කොන්දේසිවලට යටත් වීමට ඉරානය සූදානම් නැති බව එදිනම ප්‍රකාශ කැර තිබිණි.
කෙසේ වෙතත් ඉරාන යුද ගැටුම්වලට විසඳුමක් ලබා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි උනන්දුවකින් පසුවන බව පෙනේ. ඉරානය සාකච්ඡා මේසයට කැඳවීමට අවශ්‍ය සියලු බලපෑම් සිදු කළ ද, ගැටලුව ඇත්තේ ඔහුට අවශ්‍ය ආකාරයට ඉරානය හැඩගස්වා ගැනීමට නොහැකි වීමය.
එබැවින් දිනෙන් දින සිය තීරණ සහ සැලසුම් උපායමාර්ගිකව වෙනස් කිරීමට ඔහුට සිදු වී ඇති අතර, ඊළඟට ගත යුතු පියවර කවරේදැයි නිශ්චිත අදහසක් ද නැති බව ධවල මන්දිරය සමඟ තවමත් සම්බන්ධතා පවත්වන හිටපු නිලධාරියකු ප්‍රකාශ කැර තිබේ. ඔහු විසින් ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමේ අභියෝගයට මුහුණදීමට සිදු වී ඇත්තේ ද ඔහුටමය. එහෙත් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සිය කීර්තිය, අභිමානය හෝ ගෞරවය පාවාදීමට ඔහු සූදානම් නැති බවද පෙනේ. යුද්ධය තවදුරටත් ඇදී යන්නේ එවැනි පසුබිමක් තුළදීය.
සිය යුද අරමුණුවලට අමතරව ආසන්න වශයෙන් ගෝලීය සැපයුමෙන් 20%ක පමණ බොරතෙල් සහ ගෑස් සපයනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කැර ගැනීමේ අභියෝගය ද ඔහු පිට පැටවී තිබේ. ඒ සඳහා සහය වන ලෙස ඔහු නේටෝ සංවිධානයෙන් ඉල්ලීම් පිට ඉල්ලීම් සිදු කළ ද, ඊට සුබවාදී ප්‍රතිචාර ලැබුණේ ද නැත. මේ යුද්ධය නේටෝ සංවිධානයේ යුද්ධයක් නොවන බව ජර්මනිය ඇතුළු නේටෝවේ සාමාජික රටවල් රැසක රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කැර තිබිණි.
හෝමූස් අර්බුදය
යුද්ධයට මාසයක කාලයක් ගත වුවත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සමථයකට පත් කිරීමට අමෙරිකාව තවමත් අසමත් ය. මිල ගණන් ඉහළ යෑමට හේතු වූ එම මුහුදු සීමාවේ වෙළෙඳ නෞකාවලට ඉරානයෙන් එල්ල වන ප්‍රහාර නැවැත්වීමටත් අමෙරිකාවට තවමත් හැකියාවක් නොමැත.
එය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයේ අප්‍රසාදය ඉහළ යෑමට ද හේතු වී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති විශාලතම ගැටලුව යුද්ධය අවසන් කිරීම නොව හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් විවෘත කැර ගැනීම බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ ස්ටිවන් හැඩ්ලි ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සහය සෙසු රටවලින් නොලැබීම සහ මිත්‍ර පාර්ශ්වික රටවල් මඟ හැරීම අර්බුදය වඩාත් බරපතළ වීමට හේතු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
යෝජිත සාම යෝජනාවලිය ඉරානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා යුද්ධයේ ඊළඟ පියවර සම්බන්ධව වොෂින්ටනයේ අවිනිශ්චිතභාවය මේ වන විට ඉහළ ගොස් ඇති අතර, සාකච්ඡා මේසයට පැමිණීමට අසමත් වන්නේ නම් ප්‍රහාර දැඩි කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනතුරු ඇඟවීම ඉරානයේ අදහස වෙනස් කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. අමෙරිකානු ජනාධිපතිවරයා එවැනි අනතුරු ඇඟවීම් සහ තර්ජන ගණනාවක්ම සිදු කර ඇති බැවින් ඒ සම්බන්ධව ඉරාන ආරක්ෂක හමුදාවේ තැකීමක් ද නැති බව පෙනේ.
කෙසේ වෙතත් සාම යෝජනාවලිය ඉදිරිපත් කිරීම අතරතුර අමෙරිකානු හමුදාවේ පැරෂූට් මඟින් ගොඩබිම් මෙහෙයුම් සඳහා පුහුණුවලත් 82 වැනි ගුවන් මෙහෙයුම් බළකායේ සෙබළුන් දෙදහසක් මැදපෙරදිග කලාපයට යොමු කිරීමට පෙන්ටගනය නියෝග කැර තිබේ. පැය 18ක් ඇතුළත ලොව ඕනෑම ස්ථානයකට යෙදවිය හැකි බළසේනාවක් වන මේ විශේෂිත බළකාය මැදපෙරදිගට යෙදවීමට පියවර ගනු ලැබුවේ ජනාධිපති ට්‍රම්ප්ට තවදුරටත් හමුදා විකල්ප සඳහා ඉඩ ලබා දීමේ අරමුණින් බව පෙන්ටගනයේ ඉහළ නිලධාරියකු සඳහන් කර තිබේ. එය යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානම මතු කළ එකකි. අනිත් අතට බලශක්ති අර්බුදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යෑමට ද හේතුවකි.
ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම්
ඉරාන යුද අර්බුදයෙන් ලොවම විශාල තෙල් අර්බුදයකට මුහුණ පා සිටින බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය දැනටමත් අනතුරු අඟවා ඇති අතර, එය සමථයකට පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි එහි විධායක අධ්යක්ෂ ෆටීහ් බිරෝල් ප්‍රකාශ කැර තිබේ. මෙවැනි බරපතළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ 70 දශකයේ තෙල් අර්බුදයෙන් පසු පළමුවරටය. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කැර ඇත්තේ මෙවර අර්බුදය වඩාත් දරුණු බවය. යුද ප්‍රහාර නිසා දැනටමත් ඉරානය සහ මැදපෙරදිග කලාපයේ රටවල් 9ක බලශක්ති යටිතල පහසුකම් 40කට දැඩි හානි සිදු වී තිබේ.
එබැවින් යුද ගැටුම් නිමාවට පත් වුවද, බලශක්ති සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කිරීමට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කැර ඇත.
මැදපෙරදිග සෙසු මුස්ලිම් රටවල් මෙන් නොව ඉරානයට ඕනෑම යුද ගැටුමක් වසර ගණනාවක් වුවත් ඇදගෙන යෑමේ හැකියාව ඉහළය. අසූව දශකය අග භාගයේ ඉරාකය සමඟ ආරම්භ කළ යුද්ධය ඊට හොඳම නිදසුන ය. සටන් විරාමයකට දෙපාර්ශ්වයෙන්ම එකඟතාව පළවනතුරු වසර 8ක්ම යුද්ධය ඇදී ගියේය. අමෙරිකාව හා ඊශ්‍රායලය සමඟත් ඕනෑම කාලයක් යුද්ධ කළ හැකි බව ඊයේ සහ පෙරේදා ඉරානය ප්‍රකාශ කැර තිබිණි. එබැවින් යුද අර්බුදයේ නිමාව සම්බන්ධව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් පවා පත්වී ඇත්තේ අනාවැකි පළ කළ නොහැකි තරම් අසීරු තත්ත්වයකටය.
ට්‍රම්ප් විසින් නිකුත් කරනු ලබන සෑම ප්‍රකාශයක්ම ප්‍රතික්ෂේප කරමින් ඉරානය ක්ෂණික ප්‍රතිචාර දැක්වීම නිසා තත්ත්වය දිනෙන් දින වෙනස් වෙමින් පවතින අතර, ට්‍රම්ප්ට අවශ්‍ය පරිදි ඉරානය සාකච්ඡා මේසයට කැඳවීම එතරම් පහසු නැති බවද පෙනේ. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ බරපතළකම හෝ අනතුරුදායක බව සම්බන්ධව ඉරානයේ කිසිදු තැකීමක් ද නැති බව පෙනෙන්නේ එම ප්‍රකාශවලට දක්වන ප්‍රතිචාර පවා දැඩි තර්ජනාත්මක ආකාරයෙන් සිදුවන බැවිනි.
උපුටා ගැනීම-
ෆවුස් මොහොමඩ්
(27 -03-2026 දින මෙම ලිපිය දිනමිණ පුවත්පතේ පළවිය)
