
දෙහිවල පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනා ඉඩමක් කප්පමක් ලෙස පාතාලයට ලබා නොදීම හේතුවෙන් ඉඩමේ හිමිකරු වන හෝටල් හිමි ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට පාතාලයේ සැලසුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය හෙළි කැර ගෙන තිබේ.
ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සඟවා තිබූ ගිනිඅවියක් ඇතුළු ජීව උණ්ඩ තොගයක් සමඟ 18 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිදී පැහැති ගිනිඅවියක්, T56 අවිවලට භාවිත කරන මැගසිනයක්, තවත් පිස්තෝල ගිනිඅවි කොටස් හා T56 ජීව උණ්ඩ 30ක් පොලිස් භාරයට ගෙන ඇත. මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස පොලිස් වසමේ, ගුණවර්ධන පාරේ නිවෙසක් ඉදිරිපිට දී වැටලීම සිදු කැර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් බඩෝවිට අසංක නමැති අපරාධකරුගේ අනුගාමිකයකු වන කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය නොහොත් සැන්ඩෝ නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වේ.
සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය නොහොත් සැන්ඩෝ නමැති පුද්ගලයාගේ උපදෙස් අනුව මේ අවිය සන්තකයේ තබාගත් බවත්, දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සැලසුමකට මේ අවි භාවිත කිරීමට සූදානම්ව තිබූ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.
දෙහිවල පිහිටි අවන් හලකටද පසුගිය සතියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එම බෝම්බ ප්‍රහාරයද සැන්ඩෝ නමැති පාතාලයේ අපරාධකරු මෙහෙයවා ඇතැයි කියයි.
( දිනමිණ ඇසුරෙන්) බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කොට්ටාව සමූහ – ප්‍රදීප් කුමාර, දෙහිවල – ඩී.පී.හේරත්
