
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් තම රාජකාරි අත්හිටුවීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම පිළිබඳ නඩුව මෙම මස අගදී නැවත අධිකරණයට ඉදිරිපත් වන බැවින්, දෙපාර්ශ්වයෙන්ම අධිකරණයෙන් පිටතදී ඒ ගැන සමථයකට එන්නැයි අභියාචනාධිකරණය ඉල්ලීමක් කැර ඇත.
මෙම නඩුව පසුගිය බ්‍රහස්පතින්දා (19) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග විය.
නඩු විභාගය අතරතුර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චායා ශ්‍රී නම්මුනි අධිකරණයට පැවසුවේ දෙවැනි වගඋත්තරකරු දැනටමත් මෙම කාරණය සමථයකට පත් කිරීම අරමුණු කරගත් යෝජනාවක් ඉදිරිපත් කැර ඇති බවයි.
එම පදනම මත නඩුව විසඳීම සලකා බලන ලෙස ඇය පෙත්සම්කරුගෙන් ඉල්ලා සිටියාය.
කුලරත්නගේ නීතිඥ සංජීව ජයවර්ධන (PC), යෝජනාවට ප්‍රතිචාර දැක්වීමට පෙර තම සේවාදායකයා සමඟ සාකච්ඡා කිරීමට කාලය ඉල්ලා සිටියේය.
අධිකරණය ඊළඟ නඩු විභාගය මාර්තු 27 වැනි දිනට නියම කැර ඇති අතර, ඒ වන විට දෙපාර්ශ්වයම සමථයකට පත් කළ හැකිද යන්න විනිසුරු මඩුල්ලට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද, අප්‍රේල් 20 වැනි දිනට පෙර අදාළ සීමිත විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කෙළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කැර ඇත්තේ පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුවේ සාමාජිකයන්ය.
