Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඊශ්‍රායල හිතුවක්කාර වැඩවලින් ආසියාව බලශක්ති අර්බුදයක !

ඉරාන ගෑස් නිධියේ ප්‍රහා­රය අමෙ­රි­කාව වේලා­ස­නින් දැන සිටි බවත්, එය අනු­මත කළ බවත් අමෙ­රි­කාවේ සහ ඊශ්‍රා­ය­ලයේ බල­ධා­රීන් ප්‍රකාශ කළ බව ඊයේ(19) විදෙස් මාධ්‍ය සඳහාන් කර තිබිණි. 

ඉරා­න­යට බල­පෑම් කිරීම සඳහා එම ප්‍රහා­රය සිදු කළ බව ද ප්‍රකාශ කර තිබේ. එබැ­වින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකා­ශය ආපසු හැර­වී­මට ඔහුට සිදු­වනු ඇත.

ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් බව කිය­මින් අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ඒකා­බ­ද්ධව මීට දින 19කට පෙර ඉරා­න­යට එරෙ­හිව ආරම්භ කළ යුද්ධය මේ වන විට වෙනස් දිශා­ව­කට හැරී ඇති අතර, සමස්ත ආසි­යා­තික කලා­ප­යම බල­ශක්ති අර්බු­ද­ය­කට තල්ලු වී තිබේ.

පෙරේදා (18) රාත්‍රියේ ඊශ්‍රා­යල හමු­දාව ඉරා­නයේ දකුණු පර්සි­යානු ගෑස් නිධි­යට (South Pars) පහ­ර­දී­මත්, ඊට ප්‍රති­චාර ලෙස ඉරාන හමු­දාව කටාර් රාජ්‍යයේ ප්‍රධා­න­තම ගෑස් මෙහෙ­යුම් කලා­පය වන රාස් ලෆාන් කාර්මික නග­ර­යට දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මත් නිසා එය වඩාත් බර­ප­තළ තත්ත්ව­යට පත්වී ඇත. ප්‍රහාර එල්ල වූයේ පර්සි­යානු මුහුදේ පිහිටි දැනට හඳු­නා­ගත් ලොව විශා­ල­තම ස්වාභා­වික ගෑස් නිධි­යට ය. එහි දකුණු කොටස ඉරා­න­යත්, උතුරු කොටස කටාර් රාජ්‍ය­යත් පාල­නය කරනු ලබයි. මේ අති­වි­ශාල ස්වාභා­වික ගෑස් නිධිය ඝන අඩි ට්‍රිලි­යන 1,800කින් සම­න්විත බව ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සිය ඇස්ත­මේන්තු කර ඇති අතර, ලැයි­ස්තු­ගත කර ඇති ලොව පුරා පිහිටි සියලු ගෑස් නිධි ඒකා­බද්ධ කළද, එහි ගෑස් සංචි­තය ඊට අධික බවත් සඳ­හන් කර තිබේ. එම ගෑස් නිධිය වසර 13කට කාල­සී­මා­ව­කට ලොව පුරා ගෑස් අව­ශ්‍යතා සපු­රා­ලී­මට තරම් ප්‍රමා­ණ­වත් බව ද කියැවේ. මෙහි වප­ස­රිය වර්ග කිලෝ­මී­ටර් 9,700කි. ඉන් වර්ග කිලෝ­මී­ටර් 3,700ක් ඉරාන මුහුදු සීමාවේ පිහිටා ඇති අතර, තවත් වර්ග කිලෝ­මී­ටර් 6,000ක් කටාර් මුහුදු සීමාවේ පිහිටා තිබේ.

එහි වැඩි කොට­ස­කට හිමි­කම් කියන කටාර් රාජ්‍යය යුද්ධය ආරම්භ වීමට පෙර මේ වසරේ පළමු මාස දෙක ඇතු­ළත පම­ණක් දින­කට ඝන අඩි බිලි­යන 18.5ක් පමණ එම­ඟින් නිෂ්පා­ද­නය කළ අතර, එය කටාර් රාජ්‍යයේ ආදා­ය­මෙන් 80%ක් පමණ වේ. දකුණු පාර්ස් නිධියේ මෙහෙ­යුම් මඟින් ඉරා­නය දෛනි­කව නිෂ්පා­ද­නය කළ ගෑස් ප්‍රමා­ණය ඝන අඩි බිලි­යන 2ක් පමණ වන බවට ඇස්ත­මේන්තු කර තිබේ. එහෙත් අමෙ­රි­කාව ඇතුළු බට­හිර රට­වල් ඉරා­නයේ න්‍යෂ්ටික වැඩ­ස­ට­හන මුල් කර­මින් සම්බා­ධක පැන­වීම නිසා සිදුවූ ඉරාන ගෑස් අප­න­ය­නය අව­හිර වීමෙන් පසු ලොව පුරා බොහෝ ආන­ය­න­ක­රු­වන් කටාර් රාජ්‍යය වෙත සංක්‍ර­ම­ණය වී තිබිණි.

කෙසේ වෙතත් මහ­මු­හු­දේදී එක් නෞකා­ව­කින් තවත් නෞකා­ව­කට හුව­මාරු කිරීම් සහ චන්ද්‍රිකා තාක්ෂ­ණය ඔස්සේ සිදු කරන නිරී­ක්ෂ­ණ­යන් සහ ලුහු බැඳීම් මඟ හරවා ගැනී­මෙන් සම්බා­ධක නොතකා වසර ගණ­නා­වක් පුරා ඉරා­නය අඛ­ණ්ඩව සිය සැප­යුම් මාර්ග පව­ත්වා­ගෙන ගිය බව ඇතැම් දත්ත වාර්තා­ව­ලින් පෙන්නුම් කෙරේ. 2024දී ඉරා­නයේ ගෑස් නිෂ්පා­ද­නය ඝන මීටර් බිලි­යන 276ක් බව ද සඳ­හන් වේ. ඉන් වැඩි ප්‍රමා­ණ­යක් ඉරා­කය විසින් මිලදී ගෙන ප්‍රති­අ­ප­න­යන කරන අතර, සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් ආසි­යා­තික කලා­ප­යට අප­න­ය­නය කෙරේ. ලොව පුරා සියලු කලා­ප­වල තවත් රට­වල් කිහි­ප­ය­කින් ඉරා­නයේ ගෑස් ප්‍රති­අ­ප­න­ය­නය කෙරෙන බව ජාත්‍ය­න්තර බල­ශක්ති දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලින් පෙන්නුම් කෙරේ. ඉරා­නයේ අභ්‍ය­න්තර ගෘහස්ථ පරි­භෝ­ජ­න­යට අවශ්‍ය ගෑස් සැප­යුම ද සිදු­වන්නේ එම­ඟිනි.

යටි­තල පහ­සු­කම් බිඳ හෙළීම

ඊශ්‍රා­ය­ලය පහර දුන්නේ එවැනි ලොව අති­ශය වැද­ගත් ස්වාභා­වික සම්පත් ජාල­ය­ක­ටය. එහි අර­මුණ ඉරා­නයේ යටි­තල පහ­සු­කම් බිඳ දැමීම බව පෙනේ. එහෙත් ගෝලීය බල­ශක්ති ප්‍රවා­හ­යට සැල­කිය යුතු දාය­ක­ත්ව­යක් සප­යන දකුණු පාර්ස් ගෑස් නිධි­යට පහර දීම බල­ශක්ති අර්බු­දය උත්සන්න වීමට හේතු­වනු ඇතැයි මැද­පෙ­ර­දිග සෙසු රට­වල පවා මේ ප්‍රහා­රය දැඩි විවේ­ච­න­යට ලක්විය. කටාර් රාජ්‍යය ප්‍රකා­ශ­යක් නිකුත් කරනු ලැබුවේ එහි උණු­සුම මැකී යෑම­ටත් පෙර ය. ලොව විශා­ල­තම ස්වාභා­වික ගෑස් නිධි­යට පහ­ර­දීම අති­ශය අන­තු­රු­දා­යක සහ වග­කීම් විර­හිත සිදු­වී­මක් බව කටාර් රාජ්‍යය නිල වශ­යෙන් ප්‍රකාශ කළේය. එය ගෝලීය බල­ශක්ති ආර­ක්ෂාව තර්ජ­න­යට ලක් කළ ප්‍රහා­ර­යක් බව කටාර් විදේශ අමා­ත්‍යාං­ශය නිකුත් කළ නිවේ­ද­න­යක සඳ­හන් වෙයි. ගෝලීය බල­ශක්ති අර්බු­දය පෙන්වා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු තවත් රට­වල් කිහි­ප­යක්ම ප්‍රහා­රය සම්බ­න්ධව දැඩි කන­ගා­ටුව පළ කර තිබිණි.

ලොව විශා­ල­තම ස්වාභා­වික ගෑස් නිධිය ප්‍රහා­ර­යට ලක්වී­මෙන් ගෝලීය වශ­යෙන් සිදු­වන බල­පෑම කෙරෙහි ඊශ්‍රා­ය­ලයේ අව­ධා­නය යොමු­නො­වීම ගැට­ලු­ස­හ­ගත බවට ද තොර­තුරු පළ වී තිබේ. ඉරා­නයේ යටි­තල පහ­සු­කම් බිඳ දැමීම සහ ආර්ථික වශ­යෙන් රට අඩ­පණ කිරීම මූලික අර­මුණ වුවද, ගෑස් නිධි­යට පහ­ර­දීම අහඹු සිදු­වී­මක් නොවන බවට ද තොර­තුරු පළ වී ඇත. ඊශ්‍රා­ය­ලයේ සහ අමෙ­රි­කාවේ ප්‍රහා­ර­ව­ලට ඉරා­නය මැද­පෙ­ර­දිග කලා­පය ඉලක්ක කර­ගැ­නීම යුද්ධය ආර­ම්භයේ සිටම සිදුවූ බැවින් ගෑස් නිධියේ ප්‍රහා­ර­යට ප්‍රති­චාර වශ­යෙන් ඉරා­නය සුපු­රුදු පරිදි මැද­පෙ­ර­දිග රට­වල පිහිටි බල­ශක්ති යටි­තල පහ­සු­ක­ම්ව­ලට පහර දීම සියලු පාර්ශ්ව කල්ති­යාම දැන සිටි කරු­ණකි.

ඉරාන හමු­දාව කටාර් රාජ්‍ය­යට අයත් කලා­පයේ රාස් ලෆාන් කාර්මික නග­ර­යට බැලැ­ස්ටික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළේ දකුණු පාර්ස් ගෑස් නිධි­යට ප්‍රහාර එල්ල­වී­මෙන් පැය කිහි­ප­ය­කට පසු­වය. යුද්ධයේ මුල් දින කිහි­පය තුළ ඉරා­න­යෙන් ප්‍රහා­ර­යක් එල්ල වීම නිසා දෝහා අග­නු­ව­රට කිලෝ­මී­ටර් 80ක පමණ දුරින් පිහිටි මේ කාර්මික ජන­ප­දයේ මෙහෙ­යුම් කටාර් රජය අත්හි­ටුවා තිබිණි. එම­ඟින් චීනය, දකුණු කොරි­යාව, ඉන්දි­යාව ඇතුළු ආසි­යා­තික රට­වල් ගෘහස්ථ පරි­භෝ­ජ­න­යට වැඩි වශ­යෙන් ගෑස් ආන­ය­නය කරනු ලබන රට­ව­ලට සැල­කිය යුතු බල­පෑ­මක් ද එල්ල වී තිබිණි. පෙරේදා ඉරා­නය එල්ල කළ මිස­යිල ප්‍රහා­ර­යෙන් පසු තත්ත්වය වඩාත් බර­ප­තළ අතට හැරී තිබේ. එම කාර්මික ජන­ප­දයේ පිහිටි රාස් ලෆාන් වරාය ලොව විශා­ල­තම කෘත්‍රිම වරාය ද වේ. ලොව විශා­ල­තම ස්වාභා­වික ද්‍රව ගෑස් අප­න­යන පහ­සු­කම් ඇත්තේ ද එම වරාය කේන්ද්‍ර කර­මිනි. එබැ­වින් ඉරා­නයේ දකුණු පාර්ස් ගෑස් නිධි­යට එල්ලවූ ප්‍රහා­රය හා සමා­නව ගෝලීය වශ­යෙන් දැඩි අර්බු­ද­යක් නිර්මා­ණය කිරී­මට මේ ප්‍රහා­රය හේතු වී තිබේ.

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ ඉරා­නයේ ස්වභා­වික ගෑස් නිධි­යට ඊශ්‍රා­ය­ල­යෙන් පහර දීම සම්බ­න්ධව දැනු­වත්ව නොසිටි බවය. ඉරා­න­යට එරෙ­හිව යුද මෙහෙ­යුම් සිදු­වන්නේ දෙරටේ හමුදා ඒකා­බ­ද්ධව බැවින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය විම­තිය දන­ව­න­සු­ලුය. කටාර් ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ද අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා දැඩි ලෙස කෝප­යට පත්වී ඇතැයි වාර්තා වේ. නැවත එවැනි ප්‍රහා­ර­යක් එල්ල වූයේ නම් ඉරා­නයේ බල­ශක්ති යටි­තල පහ­සු­කම් විනාශ කරන බවට ද තර්ජ­නය කර තිබේ.

එහෙත් ඉරාන ගෑස් නිධියේ ප්‍රහා­රය අමෙ­රි­කාව වේලා­ස­නින් දැන සිටි බවත්, එය අනු­මත කළ බවත් අමෙ­රි­කාවේ සහ ඊශ්‍රා­ය­ලයේ බල­ධා­රීන් ප්‍රකාශ කළ බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරා­න­යට බල­පෑම් කිරීම සඳහා එම ප්‍රහා­රය සිදු කළ බව ද ප්‍රකාශ කර තිබේ. එබැ­වින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකා­ශය ආපසු හැර­වී­මට ඔහුට සිදු­වනු ඇත. අනිත් අතට ඉරා­න­යට පහ­ර­දී­මට අමෙ­රි­කාව තීර­ණය කිරීම සම්බ­න්ධව ජනා­ධි­ප­ති­ව­ර­යාට පාර්ශ්ව රැස­කින් විවේ­චන එල්ල වී තිබේ. එහි ආස­න්න­තම සිදු­වීම වන්නේ යුද්ධ­යට විරෝ­ධය පා අමෙ­රි­කාවේ ප්‍රති­ත්‍රස්ත මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වී­මය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ධවල මන්දි­ර­යට භාර දී ඇත්තේ අමෙ­රි­කාව මේ යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඊශ්‍රා­ය­ලයේ සහ ට්‍රම්ප්ගේ සමී­ප­ත­ම­යන්ගේ බල­පෑම් මත බවත්, ඉරා­න­යෙන් අමෙ­රි­කා­වට කිසිදු තර්ජ­න­යක් එල්ල නොවූ බවත් සඳ­හන් කර­මිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිගු­කා­ලීන ආධා­ර­ක­රු­වකු වන ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වීම සහ ඉරා­න­යට පහර දීම විවේ­ච­නය කිරීම සම්බ­න්ධව ධවල මන්දි­රය අප්‍ර­සා­දය පළ කර ඇති අතර, ඔහුගේ ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කර­මින් ධවල මන්දි­රය සඳ­හන් කර ඇත්තේ ඉරා­නය මුලින්ම අමෙ­රි­කා­වට පහර දීමට සැල­සුම් කර ඇති බවට විශ්ව­ස­නීය තොර­තුරු සහ සාක්ෂි ජනා­ධි­ප­ති­ව­ර­යාට ලැබී තිබූ බවය.

මර්ම­ස්ථා­න­ව­ලට ප්‍රහාර

ඉරා­නයේ බල­ශක්ති මර්ම­ස්ථා­න­යට පහර දීමෙන් සහ ඊට ප්‍රති­චාර ලෙස ඉරා­නය කටාර් රාජ්‍යය ඇතුළු මැද­පෙ­ර­දිග බල­ශක්ති යටි­තල පහ­සු­ක­ම්ව­ලට පහර දීමෙන් වැඩිම බල­පෑම් එල්ල වන්නේ ආසි­යාවේ සහ යුරෝ­පයේ රට­ව­ලටය. ආසි­යා­තික කලා­පය හැරුණු විට මැද­පෙ­ර­දිග ඇතුළු කටාර් රාජ්‍යයේ ප්‍රධා­න­තම බල­ශක්ති ගැනු­ම්ක­රු­වන් වන්නේ යුරෝපා රට­වල් ය. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිය නෞකා ප්‍රවා­හ­න­යට අව­සර ඉල්ලා ප්‍රංශය සහ ඉතා­ලිය දැන­ට­මත් ඉරා­නය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

එබැ­වින් එය ආසි­යා­වට සහ යුරෝ­ප­යට බලපෑ අර්බු­ද­යක් මිස ගෝලීය බල­ශක්ති අර්බු­ද­යක් කරා තල්ලු වනු ඇතැයි සිතිය නොහැ­කිය. ඉරා­න­යට එරෙ­හිව යුද්ධය ආරම්භ කළ අමෙ­රි­කා­වට සහ ඊශ්‍රා­ය­ල­යට මෙන්ම රුසි­යා­වට ද, ඔවුන්ගේ හිත­වාදී රට­ව­ලට ද ඉන් කිසිදු බල­පෑ­මක් එල්ල නොවන බව දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලින් පෙන්නුම් කෙරේ. බොර­තෙල් සංචිත මෙන්ම ස්වාභා­වික ගෑස් නිෂ්පා­ද­න­යෙන් ද ලොව ඉදි­රි­යෙන්ම පසු­වන්නේ අමෙ­රි­කා­වය. වසර 2024 දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව ස්වාභා­වික ගෑස් නිෂ්පා­ද­නය අතින් අමෙ­රි­කාව ඉදි­රි­යෙන්ම පසුවූ අතර, රුසි­යාව දෙවැනි ස්ථාන­යට පත්වී තිබිණි. ලොව විශා­ල­තම ස්වාභා­වික ගෑස් සැප­යු­ම්ක­රු­වන් ලෙස ද ඉදි­රි­යෙන් පසු­වන්නේ අමෙ­රි­කාව සහ රුසි­යා­වය. ඊශ්‍රා­ය­ලය ස්වාභා­වික ගෑස් ආන­ය­නය කරනු ලබන්නේ ඊජි­ප්තුව හරහා ය. තුර්කිය හරහා අස­ර්බ­යි­ජාන් රාජ්‍ය­යෙන් ද, රුසි­යාව හරහා කස­ක්ස්තාන් රාජ්‍ය­යෙන් ද බොර­තෙල් ආන­ය­නය කරනු ලබයි.

ලතින් අමෙ­රි­කානු රට­වල්

ලෝක ප්‍රකට රිස්ටැඩ් බල­ශක්ති පර්යේ­ෂණ සහ විශ්ලේ­ෂණ වාර්තා­ව­ලට අනුව පසු­ගිය වස­රේදි මැද­පෙ­ර­දිග කලා­පය රුසි­යාව අබි­බවා ලොව විශා­ල­තම දෙවැනි ගෑස් නිෂ්පා­ද­කයා බවට පත්විය. දෙවැනි වූයේ අමෙ­රි­කාව සහ ට්‍රම්ප්ගේ බල­පෑ­ම්ව­ලට ලක්වී ඇති ලතින් අමෙ­රි­කානු රට­ව­ලට පමණි. වසර 2020 සිට ගෑස් නිෂ්පා­ද­නය අතින් මැද­පෙ­ර­දිග කලා­පය 20%ක කැපී පෙනෙන වර්ධ­න­යක් ද පෙන්නුම් කර ඇත.

එම කලා­පයේ දෛනික ගෑස් නිෂ්පා­ද­නය ඝන අඩි බිලි­යන 70ක් බව පසු­ගිය වසරේ දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලින් හෙළි වී තිබේ. එය වසර 2030 වන­විට 30% දක්වා ඉහළ යනු ඇතැ­යිද ආර්ථික විශ්ලේ­ෂ­ක­යන් පුරෝ­ක­ථ­නය කර තිබේ. වසර 2030 වන විට අප­න­ය­නය සඳහා බිලි­යන 10කින් ගෑස් නිෂ්පා­ද­නය ඉහළ නැංවීම මැද­පෙ­ර­දිග රට­වල ඉල­ක්කය වී තිබිණි. එය රුසි­යානු බල­ශ­ක්තිය මත ඇති ජාත්‍ය­න්තර යැපීම අඩු කිරී­ම­ටත්, යුරෝ­ප­යට සහ ආසි­යා­වට වේග­යෙන් වර්ධ­නය වන වෙළෙ­ඳ­පොළේ ප්‍රධාන සැප­යු­ම්ක­රු­වකු ලෙස නැඟී සිටී­ම­ටත් මැද­පෙ­ර­දිග රට­ව­ලට අව­ස්ථාව ලැබී­මකි.

අනිත් අතට ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රති­ප­ත්තිය හේතු­වෙන් අමෙ­රි­කාව සමඟ අර්බු­ද­ය­කට මැදිවූ යුරෝපා රට­වල් මැද­පෙ­ර­දිග සහ ආසි­යාවේ වෙළෙ­ඳ­පොළ වෙත වැඩි වශ­යෙන් නැඹුරු වීමේ ප්‍රව­ණ­තා­වක් ද මතු වී ඇති අතර අමෙ­රි­කාව සහ යුරෝපා රට­වල් අතර මෑත කාලයේ ගැටලු රැසක් ද නිර්මා­ණය වී තිබිණි. වෙනි­සි­යු­ලාවේ අර්බු­දය සහ අයි­ස්ල­න්තය අමෙ­රි­කා­වට ඈඳා ගැනීමේ උත්සා­හ­යට එරෙ­හිව යුරෝපා රට­වල් අමෙ­රි­කාව සමඟ මත ගැටුම් රැස­කට මුල් වූ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටි හමුදා සහය ද නේටෝ සංවි­ධා­න­යට අයත් යුරෝපා රට­වල් ප්‍රති­ක්ෂේප කර තිබිණි.

ඒ සියලු කරුණු සැල­කි­ල්ලට ගැනී­මේදී ඉරාන යුද අර්බු­දය එරට රෙජි­මය පෙරළා දැමීමේ අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල උත්සා­හ­යක් පම­ණක් නොව, මැද­පෙ­ර­දිග සහ යුරෝ­පයේ ආර්ථික හා වෙළෙඳ අර්බු­ද­යක් නිර්මා­ණය කිරීම දක්වා පුළුල් වූ ක්‍රියා­න්වි­ත­යක් දක්වා විහිදී ගොස් ඇතැයි පෙනේ.

ෆවුස් මොහො­මඩ්

( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp