Impartial news reporting for a stronger democratic society
ඉරාන නැවියන් මුණගැසුණු සුලෝචනාව පොලිස් භාරයට අරන් !

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටි සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගෙන ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.

සුලෝචනා රාමයියා මොහාන්

————————————

පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගාල්ල පොලිසියට තමා පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කී බව ද එම සංවිධානය සඳහන් කරයි.
අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත පවසා ඇත.

අසභ්‍ය වචනයෙන් බැණවැදිලා !

එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.
පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ යැයි ද ගාල්ල පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුව යැයි ද ඇය සඳහන් කළාය.
මාධ්‍යවේදිනී සුලෝචනා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමසූ විට සඳහන් කරන ලද්දේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. තමන් කළ  පැමිණිල්ලෙහි අංකයද ලබා නොදුන් බව සුලෝචනා පවසයි.
මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.
මෙම සිදුවීම දැඩිව හෙළා දකින බවත් මේ ගැන වහාම පියවරක් ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පවසයි.  


Source-The Leader
(
සටහන | ගිම්හාන් ද සිල්වා)

Follow by Email
LinkedIn
Share
WhatsApp