Impartial news reporting for a stronger democratic society
ජනවාර්ගික ප්‍රශ්නයේදී එකට ඉන්න පොදු තිරණයක්: ස්වයංතීරණය හා පෙඩරල් ක්‍රමය ගැන දෙමළ පක්ෂ සම්මුතියකට එයි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදා ආණ්ඩුව සිදු කරනු ලබන කවර හෝ සාකච්ඡාවකදී මෙන්ම, දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට අදාළ කරුණු සම්බන්ධයෙන් හුදෙකලාව හෝ පක්ෂ පදනමින් හෝ කටයුතු නොකිරීමට උතුරු- නැඟෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කැරගෙන තිබේ.

2026 මාර්තු 2 වැනිදා කොළඹදී ඔවුන් එම ඓතිහාසික එකඟතාවයට එළඹ ඇත්තේ දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු – නැඟෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කැර ගැනීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවකදීය.

දෙමළ නීතිඥ සංසදය නිවේදනය කැර ඇත්තේ “දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජනතාවගේ පරමාධිපත්‍යය සහ ස්වයං නීර්ණ අයිතිය වැනි දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඇතුළත් ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වේ” යන පොදු තීරණය පිළිගනිමින්, එවැනි ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා දෙමළ සහ සිංහල ජනතාව අතර සමාජ සම්මුතියක් ඇති කැර ගැනීම සඳහා වන කෙටුම්පතක් සකස් කිරීමට එම සාකච්ඡාවේදී තිරණය වු බවයි.

කොළඹ දී පැවැති එම සාකච්ඡාව සදහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, එම පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් වන ශිවඥානම් ශ්‍රී ධරන් හා  තුරෙයිරාසා රවිහරන් සහභාගී වී තිබේ.
ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, ටෙලෝ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාරන් හා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සුරේන් ගුරුසාමි මෙන්ම  ඊ.පී.ආර්.එල්.එෆ් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙමළ නියෝජිතයන් පිරිසක් උතුරු- නැඟෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස එම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත්තේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල්, ජනාධිපති නීතිඥ වී. පුවිදරන්, මහාචාර්ය ඒ. සර්වේශ්වරන්, නීතිඥ සුගන්ති රාජකුලේන්ද්‍රා, නීතිඥ වී.එස්. නිරංජන්, නීතිඥ ජී.කේ. රනිතා හා නීතිඥ එම්. ජූඩ් දිනේෂ් යන කණ්ඩායමකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් කළ යුතු ෆෙඩරල් පාලනය සඳහා වන මූලික අංගයන් ඇතුළත් විස්තරාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමටත් එම සාකච්ඡාවේදී  එහිදී තිරණය කැර තිබේ.

දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් නිවේදනය කැර ඇත්තේ කොළඹදී පැවැති සාකච්ඡාව  සඳහා සහභාගී වූ පක්ෂ නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නියෝජිතයන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉහත එකඟ වූ කරුණු මත අඛණ්ඩව එක්ව කටයුතු කිරීමටත්, මෙම හමුව පැවැත්වූ 2026 මාර්තු 2  වැනි දින සිට දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට අදාළ කරුණු සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා  ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කිසිදු සාකච්ඡාවකදී තනිව හෝ පක්ෂ පදනමින් කටයුතු නොකිරීමටත් එකඟතාවයකට පැමිණි බවයි.

ඉහත සඳහන් එකඟතාවන්ට අනුව දෙමළ නීතිඥ සංසදය සහ දෙමළ දේශපාලන පක්ෂ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාමාර්ග අදියර කිහිපයක් ඔස්සේ තවදුරටත් ඉදිරියට ගෙන යෑමටත්  ඒකමතිකව තීරණය කළ බව දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් කියා සිටි. (Source -Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp