
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව( CID) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයේ තෙවැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ දැනුම් දෙනු ලැබීය.
එම සිද්ධියට අදාළව 2026 වසරේ පෙබරවාරි මස 25 වැනි දින අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ඔහු මේ වනවිට අවසරය මත දින 90 රඳවා ප්‍රශ්න කරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
සැකකරුවෙක් ලෙස නම් කිරීමට සාක්ෂි තිබේ දැයි මහේස්ත්‍රාත්වරයා එහිදී විමසා සිටි අතර මෙතෙක් කරන ලද විමර්ශන අනුව සාක්ෂි අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
එසේම සැකකරු රැඳවුම් නියෝග මත සිටින බැවින් සැකකරු නිරීක්ෂණය කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.
මෙම සිද්ධියට අදාළව නැඟෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් සැකකරුවන් ලෙස නම්කර තිබේ.
පාස්කු ප්‍රහාර මාලාවට පෙර සිදු වූ වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනා ගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වන ලදි.
සිදු කරනු ලබන විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)
