Impartial news reporting for a stronger democratic society
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට රජයේ වෛද්‍ය සංගමය තීරණයක් ගත්තා – සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය

සෞඛ්‍ය අමාත්‍යංශය  ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කැර ඇත.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය  ගත් බව සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය   මහතා පවසයි.

තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.
සිය ඉල්ලීම්වල‌ය ආණ්ඩුවෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු  කිරීමට තිරණය කළා.
එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක්  නැහැ. ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරනවා.
අප සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී ලෙස කටයුතු කළත්,  ආණ්ඩුව සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් .මේ වෙනකොට අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක නියැලිලා ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ නියැලිලා ඉන්නේ මහජනතාවට සහ මේ රෝගී ජනතාවට අවම හානියක් සිද්ධ වෙන විදිහටත් ආණ්ඩුවට අවශ්‍ය පණිවිඩය දැනෙන ආකාරයෙන් ලබා දෙන විදිහටත්. නැතුව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න බැරුව හරි, මීට වඩා ලොකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න බැරිකමක් නිසා නොවෙයි.
අපිට අවශ්‍ය නෑ මේ රෝගී ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය විසඳගන්න. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රජයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය  ඇමැතිවරයාත් හා වගකිවයුතු පාර්ශ්වයන් සමඟ මේ ගැටලුව විසඳගන්න. නමුත් කියන්න කනගාටුයි අපි මේ විදිහට පුළුවන් උපරිම ආකාරයට නම්‍යශීලී වෙලා කටයුතු කරද්දී, ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සහ සෞඛ්‍ය  ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඉතාමත්ම උද්දච්ච විදිහට තමා වැඩ කරන්නේ.
23,000කට අධික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඒකමතිකව එක හඬින් අපි ඉදිරිපත් කරනවා ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට, මේ ප්‍රශ්න විසඳන්න කියලා. සමහර ඒවා ගොඩක් කල් ඇදි ඇදී තියෙන ප්‍රශ්න. සමහර ඒවා ආණ්ඩුවෙන්, මහ භාණ්ඩාගාරයෙන් සත පහකවත් වියදමක් යන්නේ නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඒවා එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ එකක්වත් විසඳන්නේ නැහැ. එතකොට එතනින් එහාට ගියාට පස්සේ මේ සම්බන්ධව අපි දිගටම පසුගියදා පැවතුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් කතා කළා. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සහ මේ ආණ්ඩුවේ තියෙන මේ උද්දච්ච ප්‍රතිචාරය සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන එක පසුගිය 25වැනි දා තිබුණු මධ්‍යම කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

(Source-The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp