
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි ‘බැකෝ සමන්, තැඹිලි ළහිරු’, ‘සම්පත් මනම්පේරි’ යන සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙණෙවිය පෙරේදා (25) නියෝග කැර තිබේ

‘බැකෝ සමන්, තැඹිලි ළහිරු’ යන සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු මස 11වැනි දා දක්වාත් ‘සම්පත් මනම්පේරි’ නමැති සැකකරු මාර්තු මස 04 වැනි දා දක්වාත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් නියෝග කැර ඇත.
සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන ‘බැකෝ සමන් සහ තැඹිලි ළහිරු’ යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර උතුර අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජූඩ් වන්නිආරච්චි මහතා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් බැවින් ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
‘තැඹිලි ළහිරු’ නමැති සැකකරුට මිද්දෙණිය පොලීසියෙන් පැවරූ නඩු 13ක් සහ වීරකැටිය පොලීසියෙන් පැවරූ නඩු 6ක තොරතුරු පොලීසිය අධිකරණයට ඉදිරිපත් කෙළේය.
මනුෂ්‍ය ඝාතන, දේපොළ පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු සිද්ධි ගණනාවකට අදාළව පොලීසිය මේ නඩු 19 පවරා තිබිණි. කැඳවන නඩුවලට අදාළව ‘තැඹිලි ළහිරු’ නමැති සැකකරු මාර්තු 11දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය ඒ සමඟම රැඳවුම් භාරයේ සිටින ‘බැකෝ සමන්’ නමැති සැකකරු ද ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කෙළේය.
අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය බහලුම් දෙකක් ළඟ තබාගැනීමේ සිදුවීමට අදාළව ‘සම්පත් මනම්පේරි’ නමැති සැකකරු අධිකරණය හමුවට කැඳවන ලැබූ අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ජූඩ් වන්නිආරච්චි මහතා, සම්පත් මනම්පේරි මාර්තු 22 වැනි දින දක්වා රැඳවුම් භාරයේ තැබීමට නියෝග ලබා දී තිබුණ ද , ඔහු පිළිබඳ විමර්ශන අවසන් බැවින් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේ සහ පාණදුර නිලංග යන දෙදෙනා ද මේ සිද්ධියට අදාළව සැකකරුවන් බවට පත්කරන බව ද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට පැවසීය.
ඒ අනුව ‘සම්පත් මනම්පේරි’ නමැති සැකකරු ලබන 4 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.අරුණ විදානගමගේ හෙවත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තා ඔහුගේ දරු දෙදෙනා සමඟ වෙඩිතබා ඝාතනය කිරීමේ නඩුව ද පෙරේදා (25) කැඳවීය. ‘තැඹිලි ළහිරු’ නමැති අය ද එහි සැකකරුවකු වි ඇත..
රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරුවන් දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය. ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරුකර එහි රඳවා තබන බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.
(දිනමිණ ඇසුරෙන්-තංගල්ල සමූහ පද්මසිරි)
