
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) පෙරවරුවේ පැලියගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කෙළේය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.
අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.
එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ කණ්ඩායම් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙළේය.
ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.
චැනල් 4 හෙළිකළ අදිසි හස්තය ?
මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කෙළේය.
ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.
ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදු කළ ප්‍රකාශයකිනි.
මේ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මඟින් කරුණු දක්වා තිබුණි.
එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ ව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැලියගොඩදී අත්අඩංගුවට ගනු ලැබීය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පසුව ප්‍රකාශ කෙළේය.
ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියෙක් ….
මේජර් ජනරාල් සුරේෂ් සලේ මේවනවිට ප්‍රකට රාජ්‍යතන්ත්‍රීකයකු වන හිටපු ඇමැති මිලින්ද මොරගොඩ පවත්වාගෙන යනු ලබන ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර ඔහු අද උදැසන පෑලියගොඩ පිහිටි සිය කාර්යාලයේ සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණ.
අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කැරගෙන තිබේ.
එමෙන්ම ඔහුගේ නිවෙසට ගොස් ඇති පොලිස් නිලධාරීන් 50කට වැඩි පිරිසක් පැය ගණනාවක් එම නිවාස සෝදිසි කිරීමෙන් අනතුරුව ඔහු භාවිත කරන පරිගණක, ජංගම දුරකථන සහ ඔහුගේ ලිපිගොනු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කැර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
(මුලාශ්‍රය | adaderana)
