
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව තීරණාත්මක අවසන් සාකච්ඡාව අද(25) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මේ වන විට සිය නවතම යෝජනාවලිය ඉරානයට යොමු කිරීමට සැලසුම් කැර ඇතැයිද, අද පැවැත්වෙන සාකච්ඡාව දෙපාර්ශ්වය අතර අවසන් සාකච්ඡාව වනු ඇතැයිද ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.
ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයක් සිදු කිරීම පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් අවසන් තීන්දුවකට පැමිණ නැති අතර, අවසන් සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ජනාධිපතිවරයා එම තීන්දුව ගනු ඇතැයි ද ධවල මන්දිරයේ ප්‍රකාශකයකු සඳහන් කැර ඇත.
සාකච්ඡාව අසාර්ථක වුවහොත් ඉරාන පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු කිරීම සඳහා විශාල ප්‍රහාරයකට අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා සිය උපදේශකයන්ට ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉරානයට එරෙහිව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ජනාධිපතිවරයා සිය උපදේශකයන්ගේ අදහස් විමසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් අතර ස්ටීව් විට්කොෆ්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්, ආරක්ෂක ලේකම් පෙට් හෙග්සෙත්, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානින්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන්, ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානි සුසී වයිල්ස් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් සිටින බව සඳහාන් වේ.
හෙට පැවත්වෙන සාකච්ඡාවට ට්‍රම්ප්ගේ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ බෑනණුවන් වන ජෙරාඩ් කුෂ්නර් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගි වන අතර, ඉරාන පාර්ශ්වය වෙනුවෙන් විදේශ ඇමැති අබ්බාස් අරග්චි ඇතුළු නියෝජිත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.
මේ අතර හෙට පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කැර ඇත්තේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ ගැටලු සහ ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම හැර කිසිදු තාවකාලික ගිවිසුමකට ඉරානය සූදානම් නැති බවයි. සාකච්ඡා අතරතුර ට්‍රම්ප්ගෙන් එල්ලවන තර්ජනවලින් ඉරානයේ ස්ථාවරය වෙනස් කළ නොහැකි බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වුවද ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඉරාන හමුදාව සීරුවෙන් තබා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කැර තිබේ.(දිනමිණ ඇසුරෙන්)
