
මෙක්සිකෝවේ ආරක්ෂක අංශ සහ එරට දරුණුතම අපරාධ සංවිධානයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමෙසිකෝ ඔසෙගුවේරා හෙවත් ‘එල් මෙන්චෝ’ ඝාතනයට ලක්විමෙන් ජලිස්කෝ ප්‍රාන්තය ඇතුළු නගර රැසක ප්රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මෙක්සිකෝවේ වඩාත්ම අත්‍යවශ්‍ය පුද්ගලයා ලෙස නම් කැර සිටි එල් මෙන්චෝ මියගොස් ඇත්තේ එම ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ සිදු වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබීමෙන් පසු හමුදා හෙලිකොප්ටරයකින් රෝහල කරා රැගෙන යමින් සිටියදී බව සඳහාන් වේ.
සිය නායකයාගේ ඝාතනයෙන් කුපිත වූ “ජලිස්කෝ නව පරපුරේ සංවිධානය” නමැති අපරාධ සංවිධානයේ සාමාජිකයන් මෝටර් රථ ගිනි තබමින් ප්‍රාන්තය පුරා ප්රචණ්ඩ ක්‍රියා පතුරුවා ඇති අතර, ප්‍රාන්තයේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට ද ප්‍රහාරයක් එල්ල කර ඇත. පොදු ප්‍රවාහන බස් රථ, සාප්පු සංකීර්ණ සහ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පොදු දේපොළ ගිනි තබමින් ප්රචණ්ඩ ලෙස හැසිරෙන අපරාධ කල්ලිය පාලනය කිරීම සඳහා මෙක්සිකෝවේ ආරක්ෂක හමුදාව දැඩි උත්සාහයක නිරතව සිටින අතර, වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශයේ නිලධාරින් තිදෙනකු ද තුවාල ලබා ඇතැයි එරට ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය නිවේදනය කැර තිබේ.
අපරාධ සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනකු ද ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර, නායකයාගේ ඝාතනයෙන් කෝපයට පත් සන්නද්ධ කල්ලිය ජලිස්කෝ ඇතුළු ප්‍රාන්ත 8ක මාර්ග බාධක ඉදි කර ආරක්ෂක හමුදාවට දරුණු ප්‍රහාරයක් ආරම්භ කැර තිබේ.
ඊයේ වනවිට එම ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමා ඇති අතර, නිවාසවලින් බැහැරව යෑමෙන් වළකින ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර පැබ්ලෝ ලේමස් ජනතාවට උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට අමෙරිකාවේ බන්ධනාගාරගත වී සිටින හිටපු පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් වන එල් චැපෝ සහ ඉස්මායිල් සම්බාඩාගෙන් පසු එරට ප්රබලතම පාතාල නායකයා ලෙස සැලකෙන 59 හැවිරිදි එල් මෙන්චෝ අත්අඩංගුවට ගැනීමේ ඔත්තුව සපයා ඇත්තේ අමෙරිකාවෙන් බව ද අනාවරණය වේ.
හිටපු පොලිස් නිලධාරියකු ද වන එල් මෙන්චෝ පිළිබඳ තොරතුරු සපයන පුද්ගලයන්ට ඩොලර් මිලියන 15ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව මීට පෙර අමෙරිකාව නිවේදනය කර තිබූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජලිස්කෝ ප්‍රාන්තයේ උද්ගතවී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රාන්තයේ සිටින සිය පුරවැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අමෙරිකානු රජය ඉල්ලීමක් කර ඇති අතර, කැනඩාව ද ජලිස්කෝ ප්‍රාන්තයේ සිටින සිය පුරවැසියන්ට එවැනිම අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි වාර්තා වේ. මේ වන විට අමෙරිකානු සහ කැනේඩියානු ගුවන් සමාගම් ජලිස්කෝ ප්‍රාන්තයේ සිදු කරන සියලු ගුවන් මෙහෙයුම් අත්හිටුවා තිබේ.(දිනමිණ ඇසුරෙන්)
