Impartial news reporting for a stronger democratic society
වසර 9ක් අරගලයට විසඳුම් නැහැ ! දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දස වැනි වසරට පා තබන උතුරේ යුද වින්දිත මව්වරුන් යුක්තිය මගහැර යන ආණ්ඩුව හා ජාත්‍යන්තර බලවතුනුත් කෙරේ තම විරෝධය පළ කරමින්, දැනට ක්‍රියාත්මක  සහ යෝජිත ත්‍රස්ත පනත් දෙකම අකුලා දමන ලෙස බලකර තිබේ.

අතුරුදහන් සිය සමීපතමයන් පිළිබඳ සත්‍යය හෙළිකර ගැනීමට 2017 වසරේ පෙබරවාරි 20 වැනිදා කිලිනොච්චියේ දී  ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 3287 සපිරෙන 2026 පෙබරවාරි  20 වැනි සිකුරාදා කිලිනොච්චි සිත්ති විනයාගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්  ඩිපෝ හන්දියේ මීනාක්ෂි අම්මන් කෝවිල දක්වා පැමිණ යුද වින්දිත මව්පියන් මෙවරත් ඉල්ලා සිටියේ, සිය සමීපතමයන්ට යුක්තිය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකි.
“ව්‍යාජ මාක්ස්වාදීනි, 2009 දෙමළ වර්ග සංහාරය ඔබට මතකදැයි” සඳහන් පුවරු ද ඇතැම් මාතාවන් අත විය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ උතුරු නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා නායකත්වය දුන් කිලිනොච්චියේ පැවැති විරෝධතාවය සඳහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්ව සිටි බවයි.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීම සහා ප්‍රධාන ඉල්ලීම් නවයක් ඇතුත් කරමින් සකස් කළ සන්දේශයක් උතුරු නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා විසින් විරෝධතාව අවසානයේ, මාධ්‍යවේදීන් හමුවේ ඉදිරිපත් කළ අතර එහි අවධාරණය කර තිබුණේ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017  උතුරු නැඟෙනහිර දෙපළාතේ විරෝධතා ආරම්භ කළ දෙමළ දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 400 ක් මේ වන විටත්  මිය ගොස් ඇති බවයි.

 2009 වසරේ  අවසන් යුද්ධයේදී මුල්ලිවයික්කාල්හි සිදු වූ වර්ග සංහාරයට, තවමත් යුක්තිය ඉටු වී නොමැති බව අවධාරණය කරන එම සංදේශයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සමූලඝාතන සිදු කළ බවට චෝදනා ලැබූ හමුදා නිලධාරින්ට ඉහළ තනතුරු දෙන රටක වින්දිතයන්ට  කවදාවත් යුක්තිය නොලැබෙන බවයි.
එවැනි තත්ත්වයක් යටතේ  දෙමළ ජනයාට යුක්තිය සහතික කිරිම සඳහා ජාත්‍යන්තර මැදිහත්විම අවශ්‍යතාවය උතුරු- නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත නැවතත් සිහි කැදවමින් තිබුනේ පහත සදහන් ඉල්ලීම් නමයද ඉදිරිපත් කරමිනි.

01) බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද අයගේ ඥාතීන්ට ජාත්‍යන්තර යුක්තිය ලබා දිය යුතුයි.

02) දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කළ යුතුය.

03) දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) වහාම හකුලාගත යුතුයි.

04) උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වහා  ඉවත් කළ යුතුයි.

05) උතුරු- නැඟෙනහිර සමූහ මිනීවළවල් කැණීම නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ කැර ගත යුතුයි.

06) මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජ නියෝජිතයන්ට සහ මහජනතාවට බුද්ධි අංශ වලින් එල්ල වන  තර්ජන වහාම නතර කළ යුතුයි.

07) බෞද්ධකරණය වහාම නතර කළ යුතුයි.

08) මව්බිමේ සම්පත් සූරාකෑම නතර කළ යුතුයි.

09) නිජබිමට එරෙහිව අඛණ්ඩව සිදුවන ආක්‍රමණය නතර කළ යුතුයි.

මෙවර නිදහස් දිනයත්  කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 2026 පෙබරවාරි 4 වැනිදා කිලිනොච්චියේ සහ මඩකලපුවේදී විරෝධතා දියත් කළ උතුරු – නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත යොමු කළ සංදේශයක් මගින් ඉල්ලා තිබුණේ  දෙමළ ජනතාවට අවසන් දේශපාලන විසඳුමක් ලැබෙන තෙක් ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ අතුරු පරිපාලන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.
දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස දෙමළ ජාතිකවාදය, දෙමළ නිජබිම සහ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීමෙන් පමණක් ඉහත කී සියලු මර්දනයන් නැවත සිදු නොවන බව සහතික කළ හැකි බව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් කරන උතුරු නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් දෙමළ ජනයා මුහුණ දී සිටින  ගැටලු වහාම විසඳිම සදහා මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ද දැඩිව ඉල්ලා තිබුණි.

(Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp