Impartial news reporting for a stronger democratic society
නීතිඥයා සහ ඔහුගේ බිරිය ඝාතනය කළ වෙඩික්කරු සහ ප්‍රවාහන පහසුකම් දුන් පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා   – ඇමැති ආනන්ද විජේපාල  කියයි

නීතිඥයකු සහ ඔහුගේ බිරිය පසුගිය  දා (13)  තලංගම, අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක  ඇමැති ආනන්ද විජේපාල පැවසීය.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී, අදහස් දක්වමින්  ඇමැතිවරයා පැවසුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ඇමැති ආනන්ද විජේපාල මෙසේද පැවසීය.
“අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගනු ලැබුවා. අපරාධය සඳහා ගිනිඅවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සහ මෙහි හිමිකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
ඒ වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය ඇත්කඳුර, ගාල්ල නිවෙසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙතෙක් සිදුකර ඇති විමර්ශනයේදී මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ටුටූ” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. පොලිස් කණ්ඩායම් මේ වෙනකොට මේ සම්බන්ධව පුළුල් විමර්ශන දියත් කරලා මේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා.”

Follow by Email
LinkedIn
Share
WhatsApp