
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් වු උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (16) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරත වුහ.

මෙම ජාතික ව්‍යසනයේදී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යෑමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනෙකු අතුරුදන් වුහ.
විපතට පත් ජනතාව සමඟ අදහස් හුවමාරු කැරගත් ජෝර්ජිවා, ඔවුන්ට සිය සංවේගය පළ කැර සිටියාය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදී ආණ්ඩුව ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙළ පිළිබඳව සතුට පළ කළාය. එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළාය.
දැන් මෙහි සිටින කුඩා දරුවන් රටේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් හෙට දවසේ විශාල දායකත්වයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ අරමුණ සාර්ථක කැරගැනීම සඳහා ආණ්ඩුව ළමා පරපුර සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවද විපතට පත් පවුල්වල දරුවන් අමතමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කළාය.
මෙම අවස්ථාවට කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ද සහභාගි වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දිය හැකි සහාය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
