Impartial news reporting for a stronger democratic society
නීතිඥ යුවල අකුරේගොඩ දී ඝාතනය කිරීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක් වැඩට බැහැලා !

නාදුනන තුවක්කුකරුවන් අකුරේගොඩදී  නීතිඥවරයකු සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් මේ වන විට යොදවා තිබේ.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී පෙරේදා  (13) පස්වරුවේ ඝාතනයට ලක් වුයේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරියයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කැර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇත.
එම ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
මෙම ඝාතන සිද්ධිය  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කැර තිබේ.
එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවයි.
මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.
අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ස්ථිර පියවර ගත යුතු බවද නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (14) පෙරවරුවේ නීතිඥ සංගම් මූලස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කෙළේය. රටේ සියලු පුරවැසියන්ගේ ජිවිත ආරක්ෂා කිරීම රජයේ මුලික වගකීමක්  බව මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේදී අවධාරණය කෙරිණි.

( Source–Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp