Impartial news reporting for a stronger democratic society
X-Press Pearl: පංච-පුද්ගල අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න ත්‍රිපුද්ගල අධිකරණයකට පුලුවන්ද?

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයත් එක්ක බැඳුන ආන්දෝලනය තවමත් හරියට පැටලුන නූල් බෝලයක් වගෙයි.


පළවෙනි image එකේ තියෙන්නේ ගිය අවුරුද්දේ ජුලි 24 වෙනිදා, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන ලංකාවේ උපරිමාධිකරණය දීපු නඩු තීන්දුවේ 899 වගන්තිය. තීන්දුව දෙන්නේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච-පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. ජුලි මාසේ අග අගවිනිසුරුතුමිය විශ්‍රාම යනවා.

මූලික අයිතිවාසිකම් පෙත්සම් හතර සම්බන්ධ විභාගය අවසන් නැති බවත්, තීන්දුව ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලීම සඳහා මේ විනිසුරු මඩුල්ලම සැප්තැම්බර් 25 වෙනිදා කැඳවන්න කියලත් විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් තුමියට උපදෙස් දෙනවා. අගවිනිසුරුතුමිය විශ්‍රාම යන නිසා, ඒ පුරප්පාඩුවට වෙනත් විනිසුරුවරයෙක් පත්කිරීමේ අවශ්‍යතාව නව අගවිනිසුරුතුමාගේ අවධානයට යොමුකරන්න කියලත් තීන්දුවේ සඳහන් වෙනව.

නමුත් සැප්තැම්බර් 25 වෙනිදා නඩුව යළි විභාගයට ගැනෙන්නේ ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. මුල් කණ්ඩායමේ හිටපු යසන්ත කෝදාගොඩ විනිසුරු තුමා ඒ විනිසුරු මඩුල්ලට ඇතුළත් වෙලා හිටියේ නැහැ. ඒ වගේම අගවිනිසුරුතුමියගේ පුරප්පාඩුවට විනිසුරුවරයෙක්/වරියක් පත්කරලා තිබුණෙත් නැහැ. ඇත්තටම එහෙම වුණේ ඇයි? මුල් විනිසුරු මඩුල්ලම කැඳවන්න කියල අධිකරණය දුන් නියෝගය රෙජිස්ට්‍රාර් තුමිය ක්‍රියාත්මක නොකළේ ඇයි? අගවිනිසුරුවරියගේ පුරප්පාඩුවට විනිසුරුවරයෙක් පත් නොකළේ ඇයි?

ඊළඟට පසුගිය ජනවාරි 26 වෙනිදා ආයෙත් රැස්වුණ ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ල ජුලි 24 වෙනිදා දීපු තීන්දුව වෙනස් කරනවා. ඒ වෙනකොට නෞකා සමාගමත් අධිකරණ තීන්දුව පිළිගන්නේ නැතුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරලා තිබුණෙ. කොටින්ම අධිකරණය නියෝග කළ ඩොලර් බිලියනයක් වෙනුවට නෞකා සමාගමේ දේශීය නියෝජිතයා ගෙවල තිබුණෙ ඩොලර් මිලියනයක් විතරයි. ඒ කියන්නේ තවත් මිලියන 999ක් ගෙවන්න තියෙනව. අනික අධිකරණය නියෝග කරපු වන්දි කොමිසම සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ කමිටුව පත් කළා ද කියලත් දැනගන්න නැහැ. එහෙම තියෙද්දී පෙත්සම් සම්බන්ධ නඩු විභාගය අවසන් කරන්න ජනවාරි 26 වෙනිදා රැස්වුණ අධිකරණය තීන්දු කරනවා. නමුත් පංච-පුද්ගල විනිසුරු මඩුල්ලක තීන්දුවක් ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ලකට වෙනස් කරන්න පුලුවන්ද?

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන නීතිපති දෙපාර්තමේන්තුව, ආණ්ඩුවේ බලධාරීන් සහ නෞකා සමාගමත් මුල ඉඳලම හැසිරුණ ආකාරයේ බොහෝ ගැටළු සහගත තැන් තිබුණ. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට අතිශය බරපතල චෝදනා එල්ලවෙලා තිබුන. ඇත්තටම ඒ වෙලාවේ රනිල් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ නීතිපති දෙපාර්තමේන්තුව සමහර තීන්දු, තීරණ ගත්තේ ඇයි කියන එක තවමත් අබිරහසක්. එහෙම පසුබිමක රටේ ඉහළම අධිකරණයත් තමන්ගේම තීන්දු මේ විදියට වෙනස් කරන්නේ ඇයි?  ‘

(සටහන — සරෝජ් පතිරණ)

BBC හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්…)
2026 පෙබරවාරි 09

Follow by Email
LinkedIn
Share
WhatsApp