
ජාත්‍යන්තර මුහුදේ සිදු කරන නීති විරෝධී තෙල් ජාවාරමට එරෙහි මෙහෙයුමක් යටතේ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අරාබි මුහුදේදී තෙල් නෞකා තුනක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
සමාජ මාධ්‍ය ජාලයේ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කැර ඇත්තේ බටහිර මුම්බායි වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 100ක් දුරින් එම නෞකා අත්අඩංගුවට ගත් බවයි. තීරුබදු වළක්වා ගැනීමට සහ සම්බාධක මඟ හැරීමට ජාත්‍යන්තර මුහුදේ තෙල් ජාවාරම බහුලව සිදුවන බව ද ඉන්දීය වෙරළාරක්ෂක බළකාය වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
අත්අඩංගුවට පත්වූ තෙල් නෞකා අයත් රට කවරේදැයි ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් නොකළද, එම නෞකා ඉරානයට අයත් බව එරට මාධ්‍ය සඳහාන් කැර තිබේ. කෙසේ වෙතත් එම තොරතුරු සම්බන්ධව ඉරාන හෝ ඉන්දීය රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කැර නොමැති බව ද සඳහාන් වේ.
ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අත්අඩංගුවට ගත් අල් ජෆ්සියා, ඇස්පාල්ට් ස්ටාර් සහ ස්ටෙලා රුබි නමැති නෞකා බව සාගර මෙහෙයුම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් තහවුරු කර ඇති අතර, ඉන් ස්ටෙලා රුබි නෞකාව ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ බවද සඳහන් කැර ඇත. එම නෞකා අමෙරිකානු සම්බාධකවලට ඇතුළත් බව ද එහි සඳහන් වෙයි.( දිනමිණ ඇසුරෙන්)
