
ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි 12 වැනි කොළඹදී පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීමට සහ පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ගැටලු ඇතුළු ප්‍රධාන ක්ෂේත්රවල සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා කිරිමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ පැසිෆික් කලාප සඳහා වැඩබලන කළමනාකාර අධ්යක්ෂ පාඕලා පම්පලෝනි යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවල සම සභාපතිත්වය දරනු ඇති.
ඒකාබද්ධ කොමිෂන් සභා සැසිවාරයට අමතරව, සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික පියවර හඳුනා ගැනීම පිළිබඳ අදහස් හුවමාරු කැර ගැනීම සඳහා EU නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නායකත්වය හමුවීමට අපේක්ෂා කෙරේ.
දේශපාලන, ආර්ථික සහ සංවර්ධන කරුණු පිළිබඳ සංවාදය සඳහා ව්‍යුහගත සංසදයක් ලබා දෙමින් ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසම දෙපාර්ශ්වය අතර සබඳතා මෙහෙයවන ප්‍රාථමික වේදිකාව ලෙස ක්‍රියා කරයි.
