Impartial news reporting for a stronger democratic society
ජවිපෙ හිටපු මන්ත්‍රිවරු පඩි සල්ලි ඉල්ලා උසාවි යති

තමන් මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ලබාගත් පඩි සල්ලි ඉල්ලමින් එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම පක්ෂ නායකයන්ට එරෙහිව නඩු පැවරීමට මේ දිනවල කටයුතු කරමින් සිටිති.

ජනාධිපති නීතිඥවරුන් පිරිසක් ඔවුන්ගේ එම නීතිමය කටයුතුවලට සහයෝගය දක්වන බව ආරංචි මාර්ග සඳහන්  කෙළේය.
තමන් පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේදී මන්ත්‍රී වැටුප් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ලබාගත් බවත් එසේ ගැනීම නීති විරෝධී බවත් එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරන්නේ පක්ෂ අරමුදලට ගත් තමන්ගේ එම මුදල් නැවත ලබා ගැනීමට දිගටම සටන් කරන බවයි.
තමන්ගේ වැටුප් සල්ලි කෝටි ගණනක මුදලක් පක්ෂ අරමුදලට එසේ නීති විරෝධී ආකාරයට ලබා ගත් බවට චෝදනා කරන ප්‍රේමසිරි මානගේ තමන්ගේ වැටුප් සල්ලි පක්ෂ අරමුදලට ලබාගෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම අන්ත අසාධාරණ බවද කියා සිටියි.
මන්ත්‍රීලාගේ ’’පැන්ෂන්’’ කපා දාන පනත් කෙටුම්පත 17විවාදයට
මේ අතර සභානායක  ඇමැති බිමල් රත්නායක පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17  වැනිදා විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු සැලසුම් කැර ඇති බවයි.
එම පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයද කථානායකවරයාට දැනුම් දී ඇත.
පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු මන්ත්‍රීවරුන් පන්සිය දොළොස් දෙනකුගේ විශ්‍රාම වැටුප අහෝසි වී යනු ඇත.
ඊට හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිය හෝ සැමියා) 150ක්ද ඇතුළත් වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ජාතික ජන බලවේගය පසුගිය මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ කාලයේදී ජනතාවට දුන් පොරොන්දුවක්  ඉටුකිරීමකි.

(මුලාශ්‍රය | lankalokaya)

Follow by Email
LinkedIn
Share
WhatsApp