
මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් වළක්වා ගැනීමේ අරමුණින් සිදු කිරීමට නියමිත සාකච්ඡාව තුර්කියේ පැවැත්වීමට තිරණය කැර තිබුණ ද , ඉරානයේ ඉල්ලීම මත එම සාකච්ඡා ඕමානයේ පැවැත්වීමට අමෙරිකාව තිරණය කළ බව අනාවරණය වෙයි.
ඒ් අනුව හෙට (6) ඕමානයේදී එම සාකච්ඡාව පැවැත්වීමට අමෙරිකාව තීරණය කැර ඇති බවත්, මෙහිදී න්‍යෂ්ටික වැඩසටහනට පමණක් සාකච්ඡා සීමා කිරීමට දෙපාර්ශ්වය තිරණය කැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
කෙසේ වෙතත් පසුගිය වසරේ ඊශ්‍රායල යුද්ධයෙන් පසු බැලස්ටික් මිසයිල වැඩි වශයෙන් නිෂ්පාදනය කරමින් සිටින ඉරානය සිය ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුවහොත් එම මිසයිල මුදා හරින බවට අනතුරු ඇඟවීම හේතුවෙන් න්‍යෂ්ටික වැඩසටහනට පමණක් නොව, බැලැස්ටික් මිසයිල සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම අමෙරිකාවේ අරමුණ වන බව ටෙහෙරාන් නුවර සිටින Cyber World Press නියෝජිත සඳහන් කරයි.

ඕමානයේදී හෙට පැවැත්වීමට නියමිත අමෙරිකා – ඉරාන සාකච්ඡාව සඳහා ට්‍රම්ප්ගේ බෑනණුවන් වන ජරේඩ් කුෂ්නර් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් සමඟ ඉරානයේ විදේශ ඇමැති අබ්බාස් අරග්චි සහභාගි වීමට නියමිත බව ද අනාවරණය වෙයි.
එම සාකච්ඡාව සඳහා පාකිස්තානය, සෞදි අරාබිය, කටාර්, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු කලාපයේ තවත් රටවල් රැසක ඇමැතිවරුන්ද සහභාගි වීමට නියමිතව සිටි අතර, එම සාකච්ඡාව අමෙරිකාවේ නියෝජිතයන් සමඟ පමණක් සිදුවිය යුතු බවට ඉරානය කොන්දේසි පනවා තිබේ.
හෙට පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු රැසක් තබා සිටින අතර, ගල්ෆ් කලාපයේ යුදමය ආතතිය සමනය කිරීමට ඉරාන නියෝජිතයන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරන බව ප්‍රකාශ කැර තිබේ.
අමෙරිකානු යුද නැව් රැසක් මේ වන විටත් ඉරානය දෙසට යාත්‍රා කරමින් සිටින බව සඳහන් කැර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, සාකච්ඡාව අසාර්ථක වුව හොත් යුද නෞකා භාවිතයට ගැනීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූ බව ද සඳහාන් වේ. න්‍යෂ්ටික වැඩසටහන පමණක් නොව විරෝධතාකරුවන් ඝාතනය කිරීමත් නවත්වන ලෙස ඉරානයට දැනුම් දුන් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කැර තිබේ.

( ජායාරුපය — Reuters )
